Showing posts with label අතීතයේ මිහිරි මතක (හිනාවීමට/ඇඬීමට ). Show all posts
Showing posts with label අතීතයේ මිහිරි මතක (හිනාවීමට/ඇඬීමට ). Show all posts

Monday, July 30, 2012

"ඉස්කෝලෙන් පැනිල්ල ගැන" මතකය



ටික දවසක් සද්ද වහල හිටිය ලපය අද මේ හදන්නෙ ඉස්කෝලෙ කාලෙ මතකයන් ටිකක් අලුත් කරගන්න. ඉස්කෝලෙ කාලේ වෙච්චි සිද්ධියක් මීට කලින් ලපය දැම්ම. ඒක වුණෙ ලපය O/L කොරන කාලෙ. ඒක කියවන්න මෙතන කොටන්න. හැබැයි මේ සිද්ධි ටික ඉතින් A/L කාලේ වුණ සිද්ධි ටිකක්. සිද්ධි කියල කිව්වෙ මේකෙ සිද්ධි එකක් නෙවෙ සිද්ධි ගොඩක් තියන හින්ද. 


කොල්ලෙක් වුණාම ඉතින් පාසල් කාලෙ ලබන්න පුලුවන් සුන්දර අත්දැකීමක් තමා ඉස්කෝලෙන් පනින එක. (කෙල්ලොන්ගෙ පැනිලි ගැන නම් ලපය දන්නෙ නෑ ඕං....) ඉස්කොලෙන් එක දවසක් හරි පැනල නැති කොල්ලෙක් හොයාගන්නත් අමරුයි. හැබැයි ඉතින් ගුරුවරුන්ගෙ පැත්තෙන් නම් ඉස්කෝලෙන් පනින එක කියන්නෙ කණ අතගාන්න හරි ගෙදරින් ගෙන්නන්න තරම් බරපතල වැරැද්දක්. ගුරුවරුන්ගෙ පැත්තෙන් ගත්තොත් ඒකෙ වැරැද්දක් නෑ. මොකද ඉස්කෝලෙක මූලිකම දේ විනය වෙන්න ඕන නිසා. ඉගන ගන්න එක නම් ඉතින් ටියුශන් පන්තියෙනුත් පුලුවන්නෙ. විනය කියන එක ඉතින් ඉස්කොලෙන් විතරයි. 


ඉස්කෝලෙන් පනින එක, එහෙමත් නැත්නම් ඉතින් දන්න සිංහලෙන් කිව්වොත් ඉස්කෝලෙ cut කරන එක ගැන ලපයට හදිස්සියෙ මතක් උනෙ ලපයගෙ බොක්කක් වෙන මයියා, මෑන්ස්ගෙ බ්ලොග් එකේ දාල තිබ්බ පොස්ට් එකක් දැකල. ඒකත් ලපය ඇතුළු කස්ටියටම වෙච්ච දෙයක්. ඒක කියවන්න මෙතන කොටන්න.


ඉස්කෝලෙන් පනිනව කිව්වම කස්ටියට ඉතින් මතක් වෙන්නෙ තාප්ප, වැටවල් වගේ ඒවනෙ. හැබැයි ලපයගෙ ඉස්කෝලෙ නම් තාප්ප වැටවල් තරණය කරන්න ඕන වුණෙ නෑ. පනින අය හුඟක් යන්නෙ ගේට්ටුවෙන්. එහෙම යන එක චව්ව වෙනවනම් විතරයි විකල්ප මාර්ග භාවිතා කරන්නෙ. ඉස්කෝලෙ cut කරල පනින එවුන්ට පොදු හොර කැලෑ පාරවල් කීපයක්ම ඉස්කෝලෙ තිබ්බ. 


1. Prefect roomඑක ඉස්සරහ තිබෙන පොඩි ගේට්ටුවෙන් ගොස් Station එක (දුම් රිය පොළ) හරහා ප්‍රධාන මාර්ගය වෙත ළඟා විය හැකි මාර්ගය.
2. විදුහල් ගොවිපළ අසලින් වැටී ඇති මාර්ගය.
3. වඩු වැඩ කාමරය අසලින් ගොස්  Station එක හරහා ප්‍රධාන මාර්ගයට ළඟා විය හැකි මාර්ගය.
4. "ලෙබ්බෙ" නම් කැලය හරහා වන මාර්ගය.


මේ දැම්මේ ඒ වගේ තිබ්බ පොදු පාරවල් වලින් 4ක් විතරයි. තව පාරවල් තොගයක්ම තිබ්බ. (වර්තමානයේ මේ මාර්ගවල තත්වය කෙසේදැයි ලපයා නොදනී.)


ඉතින් ලපයලගෙ set එකෙ, ගේට්ටුවෙන් යාම ඇරුණම favorite මාර්ගය තමයි ඉහත සඳහන් කරපු 3 වෙනි මාර්ගය. ඔය මාර්ගය තමා බාධා අඩුම මාර්ගය. දවසක් ලපයලැයි පන්තියට උදේම තිබ්බෙ Chemistry. ඒක කලේ සිල්වා සර්. සර්ගෙ අන්තිම ගෝලයො ටික තමයි ලපයල. මොකද සර් විශ්‍රාම ගන්න තිබුනෙත් ලපයල උ/පෙ කරපු අවුරුද්දෙමයි. සිල්ව සර්ගෙ period 2ක ඉවර වුණාම තිබ්බෙ මැත period 2. එදා මැත කරන සර් නිවාඩු. ලපයලට ඒක සෑහෙන පාඩුවක්. මැත period 2ක තමා උ/පෙ කාලෙ funම period 2. (මැත කරපු පතිරගේ සර් ගැන වෙනම පෝස්ටු කීපයක් දාන්න  තමා  ලපය හිතාන ඉන්නෙ.) ඉතින් ලපයයි, අරවින්දයි, නිත්‍යයි, හික්ක set එකයි (මනුජ, විසිත්, චතුර) කස්ටිය ගෙදර යමන් කියල කතාකරගත්ත.


ඉතින් කස්ටිය එකා දෙන්න කැපිල මාරු වෙලා උඩින් කිව්ව 3 වන මාර්ගයේ ආව අලුත් පාර හන්දියට. එහෙම ඇවිත් එතන කඩෙන් කිරි පැකට් පාරකුත් දාල ක්ස්ටිය set වුණා ගෙවල්වල යන්න. හික්ක set එක ගාලු යන්න බස් එකේ නැග්ග. ලප‍යට ගෙදර යන්න විදියක් නෑ. ගෙදර කවුරුවත් ඇත්තෙත් නෑ. ගෙදර යතුරත් ලපය ළඟ නෑ. ඉතින් ලපය අරවින්දත් එක්ක උන්ගෙ ගෙදර යන්න set වුණා. අරවින්දයගෙ ගෙවල් ඉස්කෝලෙ ඉඳන් පයින් යන දුර. දැන් දෙන්න පයින් යනව shape එකෙ. එක පාරටම පස්සෙන් ආපු මෝටර් සයිකලයක් දෙන්න ළඟ නැවැත්තුව. 


"ආ....පුතේ කොහෙද මේ දෙන්නත් එක්ක??". හුටා :O :O :O... සිල්ව සර්. "සර් මේ.....අපි මේ......ගෙදර යන්න කියල..." කෙලින්ම උත්තර දුන්න. "ඇයි ඉස්කෝලෙ වැඩ නැද්ද??". "නෑ සර් අද පතිරගේ සරුත් නිවාඩු". "අනේ මන්ද තමුසෙල නම් හදන්න බෑ...තමුසෙලගෙ හොඳ වෙලාවට මමත් මේ short leave දාල යනගමන්. නැත්නම් තමුසෙල දෙන්න මන් කණෙන් ඇදන් යන්නෙ ඉස්කෝලෙට. කමක් නෑ තමුසෙල අදට යනවකො. තමුසෙල හින්ද මගේ වැඩේ පරක්කු කරගන්න බෑනෙ. හැබැයි තමුසෙල ගෙදර යන්න ඕන. වෙන කොහේවත් ගිහින් ලෙඩ දාගෙන අහුවෙනවකො බලන්න"."නෑ... සර් අපි ගෙදර තමා යන්නෙ. ගිහිල්ල පාඩම් කරන්න කියල බැලුවෙ". "අනේ මේ තමුසෙල කරන පාඩම්. කමක් නෑ අදවත් එහෙනම් පාඩම් කරනවකො. මේ මගෙන් දැන් බේරුණානෙ, වෙන කාටවත් මාට්ටු වෙන්නෙ නැතුව ඉක්මණට යන ගෙදරකට යනව". "හා...සර්". දෙන්නගෙම කෙලින් වෙලා තිබ්බ සරවාංගෙ මයිල් normal වුණේ එතකොට. 


"සිල්ව සර් හින්ද ගොඩ. කොහොමද වෙන බුවෙක් ආවනම්..??" අරවින්දය එහෙම කිව්වෙ වැටෙන්න ගිය තොප්පිය යන්තම් shape වුණ හින්ද.   


*************************************************************************

තවත් දවසක් ලපය, ලැටි, මනුජ, චතුර, චානක,....... (අනෙක් පිරිස මතක නැත.) ඉස්කොලේ cut කරන්න set වුණේ ආතල් එකට වාගේ. "මචං උඹල වඩු කාමරේ ළඟ ඉඳපන්. අපි වතුර බීල. චූපාරකුත් දාලම එන්නම්" එහෙම කියල මනුජයයි, චතුරයයි, චානකයයි වැඩේට ගිය අතර ලපයත්, ලැටීත් වඩු කාමරේ අසළට shape එකේ set වූණේ  අනික් එවුන් එනකම්. විනාඩිය 2  වුණා . දෙක 5  වුණා . පහ දහය  වුණා . එනව කිව්ව කස්ටිය තාම නෑ. ලැටී ගත්ත මනුජයට call එකක්. "අඩෝ....මම ලැටී කතා කරන්නෙ. වරෙන් බං ඉක්මණට. මොන හු*** කරනවද?" එයට පිළිතුරු ලෙස අනෙක් පසින් ඇසුණු දෙයින් රත් වෙච්චි ලැටී "මචං... වැඩේ දෙල් වෙලා...අරුන් අජාට මාට්ටු වෙලාද කොහේද...අපි මාරු වෙමු". ලපයා ලැටීගේ කීමට සුපුරුදු පාරෙන් ගොස් නැවතුණේ ගෙදර. වෙච්ච සිද්ධිය ලපයා දැනගත්තේ පහුවෙනිදා.


සිද්ධිය මෙසේය: වතුර බොන්නට ගිය කස්ටිය ටැප් එක ළඟදී අජාට මාට්ටු වී ඇත. (අජා යනු ලපයගෙ ඉස්කෝලේ සිටි නි.වි. කෙනෙකි. කොල්ලෝ ඔහුට ආදරේට කිව්වේ අජා කියාය. :P :P :P :P) අජා කෙලින්ම කස්ටියගේ phones අත්තඩංගුවට ගෙන ඇති අතර ලැටී call කර ඇත්තේ එවේලෙහිය. අජාට "ලැටී" යන්න ඇසී ඇත්තේ "ලැන්ටී" ලෙසය. එවිට "කව්ද ලැන්ටි කියන්නේ.....??" කියා අජා කස්ටියගෙන් අසන එක ලැටීට phone එකෙන් ඇසීම නිසා ලපයාට හා ලැටීට බේරීමට වසනාව ලැබී ඇත. :D :D :D



ප.ලි. :- ඉහත පෝස්ටුව comedy පොස්ටුවක් නොවේ. දැන් බ්ලොග්වල දැම්මද එකල ඕවා ඇඟේ මයිල් කෙලින් වෙන ඔලුව මඤ්ඤං වන සිද්ධිය. අප කාටත් ඔය වාගේ මතකයන් පාසල් කාලයේ ඇත. ඒ ගැන සැකයක් නම් නැත. 

පින්තූරෙ ගත්තෙ:-
http://barbieprincesscartoon.blogspot.com/2012/01/school-cartoon.html



Tuesday, June 12, 2012

දැන් phones වගේ ද ඒ කාලෙ phones.......එව්ව එළකිරිනෙ.......(Y) (Y)

ආයුෂ බොහෝ වෙන්න!!!!! කියල සුපුරුදු පරිදි ලපය මේ හදන්නෙ.... තවත් ලපයටම වෙච්චි කතාවක් බ්ලොග් එකේ කොටන්න. මේ කතාවත් අයිති වෙන්නෙ අතීතයේ මිහිරි මතක (හිනාවීමට/ඇඬීමට ) කියන කැටගරියට. ඒ කියන්නෙ...පරණ සිද්දිමන්ට් එකක් තමා දාන්න යන්නෙ.... මේක වුණේ 2008දි. ලපය පළවෙනි පාර අ.පො.ස. උ/පෙ කලේ ඔය අවුරුද්දෙ. (ලපය කියන්නෙ...ඉතින් උ/පෙත් 2පාරක් කරපු කොල්ලෙක් හරිය..... :P :P :P)


කොයි කවුරුත් කරනව වගේ උ/පෙ ඉවර වෙලා පොඩි trip එකක් යන්න ලපයයි තව යලුවො ටිකකුයි set උනා. අර exam stress ද මොකද්ද තියෙන්නෙ... ඒක යවා ගන්න තමයි trip එක යන්න set උනෙ.. යාලොවො set එක තමයි උදාරංග, බුද්ධිම, පුෂ්පක, පූර්ණ, සඳුන්. trip එක ගියේ කන්ද උඩරටට...ඒ කියන්නෙ මහනුවරට. එහේ බුද්ධිමගෙ නෑදෑයො හිටපු නිසා ඉතින් කෑම බීම, ඉඳුම් හිටුම් ප්‍රශ්නයක් උනෙත් නෑ. නඩේ පළවෙනි දවස් දෙකේ හිටියේ පෙරාදෙණිය - ගලහ පාරෙ පේරා කැම්පස් එක මායිමේ තියන රාමනාදන් hostel එක පේන තෙක්මානෙ තියන ගෙදරක. ඒ ගෙදර හදාගෙන යන ගෙදරක්. නඩේ 6ක් නිසා ඒ මුළු ගේම set කොරල තිබ්බ නඩේට ඉන්න.


ඉතින් ඒ ගෙදර වට පිට ඇවිදල බැලුව. පට්ටම place එකක්. එහෙම වටේම ඇවිදල බැලුව... හුටා..... ලැට් එකේ දොරක් නෑ....ඇතුලේ bathrooms තාම හදල ඉවර නෑ.. දොරක් නැතුව කරන වැඩ ටික කරගන්න තිබ්බ... ඉස්සර ගෑණු ළමයි ඉන්න බෝඩිමක් තියන ගෙයක් නොතිබ්බනම්. වට පිට බලල දොරක් වගේ එකක් හොයාගත්ත ලැට් එක වහගන්න.... ගෙදර හදාගෙන යන එකක් නිසා ගෙදරට current supply එක හරි‍යට අරගෙන නෑ. supply එකක් දීල තිබිල... එකෙ අවුලක් නිසා ලයිට් වැඩ නෑ...'අවුලක් නෑ..fun එකනෙ' කියල ඉටිපන්දම් වලින් ඉන්න set උනා...   


මේ අතරෙ නඩේ හිටිය සඳුන ගාව තිබ්බ Nokia 1100 phone එකක්. ඒ phone එක ගැන නොදන්න කෙනෙක් නෑනෙ ලංකාවෙ... පොලවෙ ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්, කෙටියෙන් කවුරුත් දන්න බාසාවෙන් කිව්වොත් ඉතින් පට්ට ගහන්න පුළුවන් phone එකක්නෙ 1100 (වන්// ඩබල් සීරෝ) කියන්නෙ.:D :D :D :D... ඔකෙ තියනවනෙ පොඩි torch එකක්. (1100 එකට torch phone කියල කියන්නෙත් ඔය හින්දනෙ...) ඉතින් ඔය phone එකේ torch එක තමා කස්ටිය මහ රෑ ලැට් එකට යනකොට එළිය ඩිංගක් ගන්න ගෙනිච්චෙ....... ඉතින් මහ රෑ ලපයටත් පොඩි මුත්‍රා බරක් හැදිල ගියා කියමුකො... 1100 torch එකත් කිහිල්ලෙ ගහගෙන ලැට් එකට.... (මුත්‍රා බරක් නිසාම වැසිකිළිය වෙත ගිය බවත් අත සම්බන්ධ කාර්යයකට හෝ වෙනයම් කාර්යයකට එලෙස නොගිය බවත් ලපයා තරයේ කියා සිටියි. :D :D :D :D)


ඉතින් ඔහොම හෙමින් සීරුවෙ නිදහස් චතුරශ්‍රෙ නිදහස සැමරුව කියමුකො. නිදහස සමරල වතුර ගහන්න කියල ලපය පස්ස්ට උනා විතරයි.. කිහිල්ලෙ ගහන් හිටපු...1100 එක..ජබොස්!!!!!!!....ලැට් වලේ..... හුටා :O :O :O.....ලපයගෙ අඟට නිකන් current වැදුණ වගේ.... මලහත් ඉලව්වයි!!!!!!!!!... ලපයගෙත් නෙවේ phone එක.....කරන්න දෙයක් නෑ කියල...වලට අත දාල ගත්තෙ නැතැයි phone එක.....(තමන්ගෙම එව්වැයි මොන කැතක්ද??.. ඇයි අපි රීල පස්සෙ අතින් හෝද ගන්නෙ නැද්ද??.... ඔය තියෙන්නෙ ඕන තරම් තර්ක.... :P :P...) ඊට පස්සෙ එළි‍යට බැහැපු ලපය.. tap එක ළඟ තිබ්බ face wash එක හැලුව phone එකට.... face wash ගාල phone හෝදපු පළමු සහ එකම කෙනා ලපය වෙන්නත් පුලුවන්..ඕං....


ඊට පස්සෙ ලපය ඇවිත් සිද්දිය අනිත් උන්ට කිව්ව..... උන්ට පැලෙන්න හිනා වැඩේට.. phone එක අයිති සඳුන කලබලයක් නැතුව ඇවිත් phone එක අරගෙන off කරන ගමන් කිව්ව..."අවුලක් නෑ.. බං.. මේව්ව sure බඩු...." කියල..... අන්න එවෙලෙ තමා ලපයගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ....පස්සෙ සඳුන phone එක ගලවල.. පිහිදාල වේලෙන්න තිබ්බ.....(අයෙ ඉතින් සුදු මූණ වගේ clean... face wash දාල හෝදලනෙ තිබ්බෙ... :) :) ) පහුවද උදේ නැගිටල phone එක re-assemble කරා... බඩු එළකිරි වගේ වැඩ....ලපයට පට්ටෙට Happy...ඇයි ඉතින් phone එක අවුල් උනා නම්.....මල හත් ඉලව්වයිනෙ.. :O....


ඊට කාලෙකට පස්සෙ පහුගිය දවස් වල ලපයට සඳුනව මීට් උනා ඉස්කෝලෙ Get - together partyඑකක් වෙලාවකදි.....ඌ ලපයව දැක්ක ගමන් කිව්වේ.. "මචං අර phone එක.........මතකනෙ.... ඒක මං ඊට පස්සෙත් අවුරුද්දක් විතර use කලා බන්....කිසි අවුලක් නෑ...ඒක Nokia  adඑකකට උනත් දාන්න පුලුවන් සීන් එකක් "කියල. 




පසු සටහන : - 


ඒ කිව්වේ ඒ කලේ phones ගැනය..එව්ව එළකිරි phonesය. දැන් තියන ඔය නානාප්‍රකාර android, i -phones, අරව මෙව්ව ඔය වගේ වගේ වලකට නොව...වතුර ඩිංගක් ඉහුනත්, වැහි පොදක් වැදුණත්... විසි තිස් දාහකට කෙල වෙන්නේ ය..... 


ලපයා වර්තමානයේද භාවිතා කරනුයේ හදිසියේ ගොස් මිළදී ගත් 1100 පරම්පරාවේ calls ගන්නට හා messages යවන්න පුලුවන් පමණක් පුලුවන් phone එකකි. එය ඕන තරම් පට්ට ගැසිය හැක්කේමය.. එය ලපයා full insurance දැම්මා හා සමානය.. :D :D :D :D...........................................   



පොලවේ ගගහා වුව පාවිච්චි කළ හැකි 1100 phones :D :D :D


පිංතූරෙ ගත්තෙ:-
http://www.gsmarena.com/nokia_1100-pictures-512.php

Tuesday, May 15, 2012

බල්ලගෙ පිටින් දාල බේරුණ බූරුවො ටික...

ඉතිං..දීර්ඝායුෂම ලැබේවා!!! කියලම පටන් ගන්නම්කො. අදත් ඉතින් මම මේ හදිස්සියෙම මීටරේට වැටිච්ච සිද්දියක් තමා දාන්න කියල බැලුවෙ. මේක ඉතින් සොඳුරු පාසල් සමයේ රස කතා ගණයට තම වැටෙන්නෙ...  මේක සිද්ද වුණේ 2005. ඒ කියන්නෙ සුනාමියෙන් පස්සෙ රට ගොඩ එමින් තිබූ යුග‍ය. ඒ විතරක්ද ලපය, අ.පො.ස. සා/පෙ කරෙත් ඔය අවුරුද්දෙමනෙ.

මේක වුණේ අපෙ ඉස්කෝලෙ..(ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ ). ලපය හිටියෙ E.R.ද සිල්වා ගොඩනැගිල්ලෙ තිබ්බ 11-D පංතියෙ. උදාරංග, මාතු (ආසිරි ), අරවින්ද, ලක්ෂිත (ප්‍රෙඩේටර්), නිත්‍ය, පෙතියා (පෙතියාගොඩ ), මදූෂ, රසික, සමත්, පාරමී..........11-D එකේ හිටිය ටික දෙනෙක් තමා ඔය. පන්තිය භාරව හිටියෙ ලංකා මිස්. මිස් අපේ 10, 11 අවුරුදු 2කේම පංති භාර මිස් වගේම, අපිට ඉංග්‍රීසි විෂයත් ඉගැන්නුව.


ඒ දවස්වල ඉතින් ඉස්කෝලෙ ඇරුණම පංතියෙන් අන්තිමට පිටවෙන ළමය තමයි පංතිය lock කරල යන්න ඕන. ඉතින් පංතිය lock කරන පුද්ගලය දවසින් දවස වෙනස් වෙනව. එක සිකුරාද දවසක ඔහොම පංතිය lock කරල කොල්ලො ටික ගෙවල්වල ගිහින් තිබ්බ. සෙනසුරාදා, ඉරිදා කස්ටියම ආතල් එකේ ඉඳල සඳුදා ආව කියමුකො අයෙත් ඉස්කොලෙට. එහෙම ඇවිල්ල පංතිය ඇරියම තමයි......ආතල් එක ආතල්  කෝටියක් උනෙ. :D :D :D .... සිකුරාද පංතිය වහල තියෙන්නෙ වල් බල්ලෙක් පංතිය ඇතුළට දාල. ඇතුළට දාලමත් නෙවේ... ඌ රිංගල. (පුරුද්දටද කියල කව්ද දන්නෙ...:D) බල්ල දවස් 2ක් ඇතුලෙ හිර වෙලානෙ හිටියෙ.. ඌට කන්නත් නෑ, බොන්නත් නෑ. හැබැයි පංතිය පුරාම ජරා කරල. (රීලා කිව්වම කස්ටියට තේරෙයි නෙ. :P) බල්ල මුළු පංතිය පුරාම රෙන වැඩේ යහමින්ම කරල. මුළු පංතියම ගඳගහනව ලොවෙත් නැති වෙන්නම. කොල්ලො ටිකත් ඊය// ගානව මුකුත් කරන්නෙත් නෑ. අනිත් පංතිවල උන් එනව තොරණ් බලන්න එනව වගෙ පෝලිමට.. මේ බල්ල රීපු එක බලන්න. :) :) :).. දැන් කස්ටියට ප්‍රශ්නෙ කව්ද සිකුරාදා පංතිය වැහුවෙ? කියල. දැන් බලනකොට කවුරුවත් සිකුරාදා පංතිය වහල නෑ. එක එකා එක එක දවස්වල පංතිය වහන නිසා කවුරු වැහුවද කියල හිතා ගන්න බෑ. වහපු එකත් සද්ද නෑ. එදා එහෙම පංති‍ය වහපු  එකා අහු උනානම් ඌට පට්ට බයිටක් දෙන්න තමා හිටියෙ.


ඔන්න ටික වෙලාවකට පස්සෙ පංති භාර ලංකා මිසුත් ආව. මිස්ට වැඩේට හොඳටම තද වුණා. "පංතිය හෝදල දානව. Detol දාල. මට බෑ මෙහෙම පංතියෙ ඉන්න." කියල මිස් හොඳටම කොල්ලො ටිකට බැන්න. හැබයි ඒ වචන ටිකෙන් පස්සෙ කොල්ලොන්ට full fun. මොකද දැන් English periodඑක cut. (හැමදාම අපෙ 1st period එකේ තිබ්බෙ කඩ්ඩ. හිතාගන්න පුළුවන්න්නෙ කොල්ලොන්ගෙ කඩ්ඩ කොච්චරද කියල.)


මුළු periodඑකම අරගෙන කොල්ලො ටික පංතිය හේදුව ඩෙස්-පුටු ඔක්කොම එළියට දාල. ඊළඟට තිබ්බ period එකේ අදාල ගුරුවරය පංති‍යට එනකොට පංතියෙ ඩෙස්-පුටු ඔක්කොම එළියෙ. කොල්ලොත් කිව්ව  පංතිය හෝදල, පංතියෙ තාම වතුර කියල. ඔය වගෙ 2nd period එකත් cut. කොල්ලො දැන් පංතියෙන් එළියෙ fun ගන්නව. අනිත් පංතිවල කොල්ලො හූල්ල හූල්ල වැඩ. පංතියෙ වතුර වේලෙන කොට ආයෙත් වතුර දානව. ආයෙ වේලෙන කොට ආයෙත් වතුර දානව. කොහොම හරි එදා වැඩ කලේ සිංහලයි, විද්‍යාවයි විතරයි. සිංහල කරපු නාගවත්ත සර් ඇවිත් "අද පාඩමක් කරන්න බෑනෙ. කටපාඩම් කරන්න දීපු කවි ටික කටපාඩම් දීපියව්" කියල එළියෙ ඉඳන්ම කවි කටපාඩමින් ගත්ත. විද්‍යාව නම් ඉතින් කොහොමත් lab එකට ගිහින් කරන නිසා විද්‍යාව එදා කළා. විද්‍යාව කරපු රංජිත් සර් කිව්වෙ "තමුසෙලට ඕනකමක් තිබ්බනම් මේ lab එක අරගෙන periodවල වැඩ කරන්න තිබ්බනෙ" කියල... :D :D :D. ෂික්.. අපිට ඉතින් ඕනකමක් තිබ්බෙ නෑනෙ..කියල අපි ඉතින් හිත හදාගත්ත.. :P :P


ඉස්කෝලෙ අරින්න ටිකකට කලින් අපි පංතිය අයෙත් පිළිවෙලට ඩෙස්-පුටු තියල හැදුව.


ඒ වෙලාවෙ අංශ ප්‍රධාන සර් ඇවිත් "තමුසෙල අද කිසි වැඩක් කලෙ නෑනෙ. හොඳයි// බල්ලගෙ පිටින් දාල බූරුවො ටික බේරුණ.. එහෙනම්" කියල හිනාවෙල ගියා. :D :D :D











Thursday, April 19, 2012

ජසයා සහ ලෙංචිනා සමඟ නරි බෑණා


ඉතිං ආයුබොවන්ඩ.... ඔන්න මම අලුත් බ්ලොග් පිටුවෙ මුල්ම කතාව දාන්න කියලා හදන්නෙ (අලුත් බ්ලොග් පිටුව කියල කිව්වෙ මීට කලින් මම බ්ලොග් 2ක 3ක්ම ලිව්ව. පස්සෙ එව්ව නැවතුනා. දැන් එව්වගෙ නම්වත් මට මතක නෑ කියන්නෙ...). සිංහල දෙමළ අලුත් අවුරුද්දට පස්සෙ ඔන්න මං සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියලම පටන්ගන්නම්කො.

මේක මේ මම ඇතුළු මගේ යලුවොන්ට වෙච්ච ආතල් පිරි සිද්දිමන්ට් එකක්. කතාවෙ නම දැක්කම හිතන්න එපා මේක නාට්ටියක්ක කියල. ඒ අපි අ.පො.ස. උ/පෙ කොරන කාලෙ. ඒ දවස්වල අපෙ විනෝදාංශයක් තමා කස්ටිය එක්ක වේදිකා නාට්‍ය බලන්න යන එක. මොකද කරාපිටියෙ මෙඩිකල් කොලේජියෙ (Medical Faculty) තමා තිබ්බෙ ගාල්ලෙ හොඳම Auditorium එක(නුවර එළියෙ climateඑක ගන්න A/C එහෙම කොරල තියෙන්නෙ.). ඉතිං ඒක අපෙ ගෙවල් ළඟ හින්ද අපි ඔකෙ පෙන්නන නාට්‍ය බලන්න ගියා. (මෑන් ද මෑන්, සිංහබාහු, මනමේ, ගුරු තරුව,........ අය්යෝ සල්ලි කියල හිතෙනො.. බලපු නාට්‍ය කන්දරාවට.)

එදා අපි බලන්න ගියෙ දයානන්ද ගුණවර්ධන මහත්මයගෙ ජසයා සහ ලෙංචිනා සමඟ නරි බෑණා නාට්‍යය. (දන්න සිංහලෙන් කිව්වොත් ඉතින් ජසයා සහ ලෙංචිනා ft. නරිබෑණා). අපි කිව්වෙ මතක විදියට මමයි, උදා, ජයේ, සාරි, තව අපෙ ස්කොලෙ මල්ලිල 2/3න් දෙනෙකුයි තමා ගියෙ. (කෙටි නම්වලින් දැම්මෙ දන්න කස්ටිය විතරක් දැනගන්න.) අපි වාඩිගෙන හිටියෙ බිම් මහලෙ වේදිකාව කෙලින්ම පිටිපස්සෙම row එකෙ. මුලින් පෙන්නන්නෙ ජසයා සහ ලෙංචිනා. ඒක බලපු කස්ටිය දන්නවනෙ එකෙ තියන විනොදෙ. :P. විජය නන්දසිරි මහත්තයා තමා ජසයට පණ පෙව්වෙ මට මතක විදියට. ඉතින් ඕකෙ අපි විසිල් ගහල, කෑ ගහල පට්ට රසක් ගත්ත. (එදවස අප විසිල් ආදී රසවින්දන‍යට අවශ්‍ය වන ද්‍රව්‍ය නෘත්‍ය ශාලාවට රැගෙන යම්හ.) විවේකෙන් පස්සෙ ඔන්න නරිබෑණා පටන්ගත්ත. පොතේ ගුරු ඇවිල්ල නාට්‍ය සමාරම්භය සනිටුහන් කොලා කියමුකො.

ඔන්න ඊට පස්සෙ නරියා (රොඩ්නි වර්ණකුල මහතා) හෙමින් හෙමින් ආව වේදිකාවට. කස්ටිය දන්නවනේ ඉතින් නරියා මුලින්ම කියන වචන ටික. (8 ශ්‍රේණිය සිංහල පොතේ නරිබෑණා නාට්‍යය මතක ඇතැයි සිතමි.)

නරියා : මම මේ... කැලේ ඉන්න නරියෙක්.....

මෙහෙම කිව්ව විතරයි අපෙ එකෙක් කියපි "ආ.....ඇත්තද......?????" කියල.....ඒ එක්කම ඌ විසිල පාරකුත් ගැහුව.(අදාල පුද්ගලයාගේ නම සඳහන් නොකිරීමට මම සදාචාර සම්පන්න වෙමි.) බලන්න ආපු සෙනඟට පට්ටෙට හිනා... :D :D :D :D. හැබැයි රොඩ්නිට (නරි‍යට ) මලේ මල. මෑන්ස් නාට්‍යය නවත්තල අපෙ පැත්තට අඟිල්ල දික් කොරල කියපි "මේ පැත්තෙන් කෑ ගැහිල්ලක් ආව. ඔහොම කෑ ගැහුවොත් නම් ඉතින් අපිට නාට්‍යය නවත්තන්න වෙනව. කෑ ගහන්නෙ නැතුව silent එකෙ නාට්‍යය බලන්න." කියල. දැන් සෙනඟ අපේ පැත්ත බලනව, උන් අර කියපු එකට හිනාවුණෙ නෑ වගෙ. (හොඳ වෙලාවට ලයිට් නිවල තිබ්බෙ. නැත්නම් විනාසයි. :P) ඊට පස්සෙ රොඩ්නි "අපි අයෙ මුල ඉඳන් ගම්මු." කියල අයෙත් වේදිකාවෙන් බැහැල ගිහින් මුල ඉඳන් නාට්‍යය පටන් ගත්ත.

නාට්‍යය බලන කොට තමා අපිට තෙරුනෙ රොඩ්නි මහතා start එකෙදිම අපිට සද්දෙ දැම්මෙ ඇයි කියල....... එදා ගම දුවට ඉඳල තිබ්බෙ අලුත් නිලි‍යක්. සෙනඟ දිගටම කෑ ගැහුවොත් ඒ කෙලීට දෙබස් වැරදිල නාට්‍යය චොර වෙන්න ඉඩ තියන හින්දා නරියා කලින්ම වැඩ ඇල්ලුව.....

පස්සෙ අපි නාට්‍යය ඉවර වෙලා ලයිට් දාන්න කලින්ම ආව. ඒ ගෙදර යන්න රෑ වෙන හින්ද හොඳේ........... එනකොට තමා අර සිද්දියට අදාල පුද්ගල‍යට සුද්ද සිංහලෙන් දේශනාව දුන්නෙ. මෑන්ස් ඌට නෙමේ වගෙ ආතල් එකෙ ගියා කියහන්කො.....

ප.ලි. :- රොඩ්නි වර්ණකුල යනු ලාංකේය කලා ක්ශේත්‍රයේ සිටින සහ මා කැමතිම අති දක්ෂ රංගන හා ගායන ශිල්පියෙකි.