Monday, December 31, 2012

2012න් 2013ට ආවඩා ආයුබෝ වේවා!!!



ඉතිං ආයුබොවන්ඩ... ලපය ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ටුවක් දාන්න හදන්නෙ 2012 ගෙවිල 2013 ලබනකොටම....

ඉතිං ලබන්නාවූ 2013 ඔබට සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සුභම සුභ නවවසරක් වේවා!!!!! කියල ප්‍රර්ථනා කරනව..


මායාවරු දුන්න ගින්න
හිතේ තියන් ගෙවුණ දවස

බඩු මිල තෙල් මිල අස්සෙන්
දේශපාලනේ කැරකුණ

විස්සයි විස්සේ රස්නෙට
රත් වුණෙ අපෙ ලේ පොඩ්ඩද?

ටැක්ස් අඩු කර දුන්න නිසා
ලැම්බෝගිනි මවපු හීන

එග්සෑම් එකෙ ඩිප අස්සෙන්
ප්‍රොජෙක්ට් කර මත පැටවුණ

ලට්ට ලොට්ට ගොඩක් පිරුණ
වසරක් ගෙවුණා නොදැනිම

දෙදහස් දොලහේ අවසන
ලං වෙලානේ ඉක්මණටම

ආයුබොවන්!! කියා එයට
පිළිගමු දෙදහස් දහතුන.......

Saturday, October 6, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයෙන් ජයම වේවා!!!!!!!!!



ඔන්න මෙදා පාරත් T-20 World Cup එකෙ final එකට ශ්‍රී ලංකාවෙ සිංහයො ටික ඇවිල්ලා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තමයි ප්‍රිතිවාදියො.අපේ රටේම මේ තරඟය තියන නිසා අපිට අමතර වාසියක් තියනව. 2009 එංගලන්තෙ තිබ්බ T-20 World cup finalඑකටත් අපේ සිංහ කොල්ලො ආව මතක ඇතිනේ.  එදා අවාසනාවන්ත ලෙස පකිස්ථානෙට අපි පරාද වුණානෙ. හැබැයි මෙදා පාර පකිස්ථානෙ Semi finalඑකේදි පරාද කරල තමා අපේ කට්ටිය final ආවෙ. 

ඉතින් මෙදා පාර T-20 World cup එක ලංකාවට ගේන්න අපේ කොල්ලො ටිකට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල තමයි ලපයගෙ එකම ප්‍රාර්ථනාව!!!!!!!!! (ලපයගෙ විතරක් නෙමේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙ එකම පැතුමත් ඒකයි කියල ලපය දන්නව හොඳේ...)

ඉතින් Cup එක ගන්න යන අපේ සිංහ සේනාවට උපාහාරයක් වෙන්න ලපය ලියපු කවි පෙලක් තමයි මේ පහල post කරල තියෙන්නෙ....

ශ්‍රී ලංකා පිලට ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!

----------------------------------------------------------------------------------------------

T-20, ODI ඕන එකක් ෂුවර්
වල් අඩි නෑ පොල් අඩි නෑ ග්‍රවුන්ඩ් එකම කවර්
ක්‍රිකට් පොතට අනුව ගහයි නැතුවම ෆුල් පවර්
මයියා ගහන හින්ද ඕන නෑ මට නම් ඩිනර් 

ලංකාවේ රන් නාමය ලෝකෙට ගෙන ගිය
නුවර පලාතෙන් බිහිවුණ තරුවකි නම ගිය
සුද්ද ඉදිරියේ ඔහු නෑ වුණේ කිසි දින බිය
cover drive පහර සමඟ සංගා සිහි විය 


විසිතුන අංකේ දැක්කම මගෙ සිහියට නැගෙන්නේ
පිත්ත අරන් ඉදිරියෙන්ම පිටියට පැමිණෙන්නේ
දමන පන්දුවලට වැරෙන් හතර අතේ නෙලන්නේ
Dilscoop සමඟයි දිල්ශාන් පිටියට බහින්නේ


නායක මයියා හට නිති සහය ලබා දෙන්නේ
ඕන වෙලාවට පන්දුව ගෙන වැඩ පෙන්නන්නේ
ගේම කරට අරන් වගේ පිත්ත හසුරුවන්නේ
උපනායක මැත්ත ගැනයි මම මේ කියවන්නේ 

පිටියට බසිනා විට පොල් තල් ගස් සිහි වෙනවා
ගේල්, පොලාඩ්, අෆ්‍රිඩි, වොට්සන් කැලෙ විසි වෙනවා
අංක එකේ ජර්සි‍ය ඇඳ පිටියට ගොඩ වෙනවා
තිසර ගහන විටදි හයේ චක්කරෙ සිහි වෙනවා 

ක්‍රිකට් වගෙම නැටුමට නිති දස්කම් පෙන්වන
පා දඟ පන්දුවෙන් නිතර වැඩ කිඩ පෙන්වන
බැට් කරනා විට සංගගේ හැඩරුව පෙන්වන
ජීවා නැතුව කොහොමද? මැච් බලන්නේ පෙන්වන

මොරටු පුරෙන් බිහිවුණ තව රන්වන් තරුවකි
මැද පෙළ සවිමත් කරන්න හොඳ පිතිකරුවෙකි
පිටියෙ ඕන තැනක පන්දු මොහුට රැකියහැකි
තිරිමාන්න ගැන නම් මට නොකියම බෑ සකි

පන්දුව ගත්විට දසතින් ඔල්වරසන් ඇසෙනවා
පිතිකරුවෝ බයේ ගැහෙන බවනම් මට පේනවා
බවුන්සර්, යෝකර්, ස්ලෝ බෝල් කලවන් කර දානවා
ගාල්ලේ මාලිංග මුලින් විකට් ටිකක් ගන්නවා

පන්දුව ගෙන සීමාවට ඔහු පියවර මනින්නේ
කලබල නෑ ඉලක්කයට පන්දුව යොමු කරන්නේ
ඕන තැනදි පිත්තෙන් හයෙ පහරවලුත් නෙලන්නේ
කුලසේකර ඉන්නවනම් ගේම අපේ අතේනේ

මිට්ටා වගේ හිටියට වැඩ නම් මෙයාගෙ එළ
පිතිකරුවන් දැවී යනව පන්දුව ගත් කල
හේරා පන්දුව අඹරයි උස්සා අපෙ පිල
අපේ පැතුම් ගැන්වෙනවා නියමෙට මලඵල

ලෝක වාර්තා තියන්න උපන් හපන් ඇති
කැරම් බෝල් කිව්වම නොදන්න කවුරුවත්ම නැති
කඩුලු දවාගන්න නියම තුරුපුවකි නිති
අජන්තගේ පන්දු කවයි බැට්ස්මන්ලව කිති

අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නා පොඩි එකා
පන්දුව දඟ කවයි එළට වගේ නිකං යකා
දවයි පෙළට අනෙක් පිලේ පිතිකරු එක එකා
අකිල මල්ලි තමයි පුතේ මෙමං කියන යකා






පින්තූරෙ ගත්තේ: http://www.dpvid.co.cc/2012/09/teams-in-sri-lanka-for-t20-wc.html


Thursday, August 30, 2012

පොල්ගස්.... ඩොට් ඩොට්......


ඔබේ පහසේ
දැවටි දැවටී
මගේ දෙපතුළ විඳින උණුසුම..

අව්ව වැස්සේ
සුවය විඳිමින්
කොහෙ වුණත් මා සමඟ යන එන..

ඩෙනිමට ෂෝටට
පට්ටෙට තිතට
සහෝදරයන් වගෙ හොඳට ගැලපෙන..

දානෙට මරණෙට
ළඟින් හිටියත්
මඟුලකට බෑ ළගින් ඉන්නට..

කොළඹ, නුවර
ඕන තැනක
රට වටේටම කදිමට මැච් වෙන..

ඉඳල හිටලා
පටිය කැඩුණට
මගේ මනාපෙ සදා ඔබහට..

පොල්ගස්
ඩොට් ඩොට්
කියුවිට කාටත් මැවි මැවී පෙනෙන..

ගෙදරින් කොච්චර 
ලෙඩේ දැම්මාට
ආදරෙයි මගෙ "රබර් පෙයාර්" එකට..







පින්තූර ගත්තෙ:- 
http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=32
http://www.elakiri.lk/forum/showthread.php?t=648662&page=106

Saturday, August 25, 2012

පඩි දවස





ලපය අද කාලෙකට පස්සෙ කඩේ ගියා බඩු ගන්න. (ඉතින් අපිට මොකෝ නේ....) නෑ එහෙම නෙවෙයි. කඩේදි බඩු ගන්න ඇවිත් හිටිය මිනිස්සු දිහා දැක්කම ලප‍යට හිතිච්ච පද පේලි ටිකක් තමා මේ පහලින් දාල තියෙන්නෙ. මේ දවස්වල රටේ වැඩි දෙනෙක්ට කඩේ බඩු ගන්න ගියාම මෙහෙම හිතෙනව ඇති කියල තමයි ලපයට නම් හිතුණෙ. ඒක ඉතින් ලපයට හිතුණු හැටි හොඳේ.......  
*
*
*

අල ලූණු පරිප්පුද
ගෝනියේ දමන රඟ
පොල් මිරිස් තුන පහද
සොයයි කූඩයේ ඉඩ
පාට පිරි එලවලුත් 
පිරෙයි කූඩේ කොනක
කීරි සම්බා කටක්
රස බලන දින කොහිද?
කැකුළු හාලේ බතම
කටට හුරු වී ඇතිද?
කිරි පිටිත් හිනැහිලා
අතවනයි අතරමඟ
අඩු මිලේ කිරි පැකට්
සොයයි මැලවුණු දෑස
මස් බෝල සොසේජස්
අපලයිනෙ ශරීරෙට!!!!!
සබන් දත් බෙහෙත් හෙම
ලාබනම් යයි කූඩෙ කොනකට
මාළු කරියක රසය
දුරස් වේවිද? අපේ මුවඟට
අඩු මිලට සැමන් ටින්
දෙනව කිව් මැති කොහිද?
ටොෆි චොකෝ නෙක පාට
සිහි කළා පුතු මුහුණ
හිම කිරම දෙස බලා
හරව ගත්තේ මුහුණ
මොණර කොල එක දිගට
පියාඹයි මුදලාලි දෙසටම
බිල ගෙවා අත ගත්තා
හිඳිල පඩි පැකට් එක
කවුද වග කියනු මෙව්වට
අනේ!!! කවුදැයි දන්න
දැන් ඉතින් හිටපන්කො
වෙනකම්ම ලබන මස.......


පින්තූරෙ ගත්තෙ:  http://www.sigirihelp.com/Sri%20Lanka%20Money.html


Saturday, August 18, 2012

මැම්බර් තුමා


තොරණ බැඳලා
බැනර් ගහලා
බලා ඉන්නව
පුල පුලා....

වාහන පෝලිමයි
වටේට සීයයි
'අයිනට අයිනට'
කිය කියා....

'ආයුබෝවන් ආයුබෝවන්
සැමට සුභ සිරි වාසනාවන්'
මැදින් යයි තේජස්
ද දා....

ගමට පාරක්
ගෙයට එළියක්
දෙනව කියනව
හිස නමා....

වලේ බැහැලා
ගලක් තියලා
සිනහ වෙයි දත්
කැකුළු පාලා....

ගිය පාර වගෙ
මෙදාපාරත්
කතිරෙ ඉල්ලයි
පෙන්නා කොකා....



පින්තූරෙ ගත්තෙ: http://bandaragama.wordpress.com/tag/central-bank-of-sri-lanka/

Friday, August 10, 2012

බිඳුණු ප්‍රේමයේ නැවතුම් තිත....


පීර පීර අපෙ ගෙවුණවු මතකය
පාර පාර මට හිමි නැති සෙනෙහස
හූර හූර මගෙ හදවත කැක්කුම
එන්න එපා මගෙ ලෝකෙට ආයෙම
*
*
*
*
*
*
*
ඌනපූර්ණයක් වන්නට
"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළගින්...." - විශාරද වික්ටර් රත්නායක

පින්තූරෙ ගත්තෙ:-
http://bestprofilepicture.blogspot.com/2011/12/broken-hearts-pictures-love.html

Monday, July 30, 2012

"ඉස්කෝලෙන් පැනිල්ල ගැන" මතකය



ටික දවසක් සද්ද වහල හිටිය ලපය අද මේ හදන්නෙ ඉස්කෝලෙ කාලෙ මතකයන් ටිකක් අලුත් කරගන්න. ඉස්කෝලෙ කාලේ වෙච්චි සිද්ධියක් මීට කලින් ලපය දැම්ම. ඒක වුණෙ ලපය O/L කොරන කාලෙ. ඒක කියවන්න මෙතන කොටන්න. හැබැයි මේ සිද්ධි ටික ඉතින් A/L කාලේ වුණ සිද්ධි ටිකක්. සිද්ධි කියල කිව්වෙ මේකෙ සිද්ධි එකක් නෙවෙ සිද්ධි ගොඩක් තියන හින්ද. 


කොල්ලෙක් වුණාම ඉතින් පාසල් කාලෙ ලබන්න පුලුවන් සුන්දර අත්දැකීමක් තමා ඉස්කෝලෙන් පනින එක. (කෙල්ලොන්ගෙ පැනිලි ගැන නම් ලපය දන්නෙ නෑ ඕං....) ඉස්කොලෙන් එක දවසක් හරි පැනල නැති කොල්ලෙක් හොයාගන්නත් අමරුයි. හැබැයි ඉතින් ගුරුවරුන්ගෙ පැත්තෙන් නම් ඉස්කෝලෙන් පනින එක කියන්නෙ කණ අතගාන්න හරි ගෙදරින් ගෙන්නන්න තරම් බරපතල වැරැද්දක්. ගුරුවරුන්ගෙ පැත්තෙන් ගත්තොත් ඒකෙ වැරැද්දක් නෑ. මොකද ඉස්කෝලෙක මූලිකම දේ විනය වෙන්න ඕන නිසා. ඉගන ගන්න එක නම් ඉතින් ටියුශන් පන්තියෙනුත් පුලුවන්නෙ. විනය කියන එක ඉතින් ඉස්කොලෙන් විතරයි. 


ඉස්කෝලෙන් පනින එක, එහෙමත් නැත්නම් ඉතින් දන්න සිංහලෙන් කිව්වොත් ඉස්කෝලෙ cut කරන එක ගැන ලපයට හදිස්සියෙ මතක් උනෙ ලපයගෙ බොක්කක් වෙන මයියා, මෑන්ස්ගෙ බ්ලොග් එකේ දාල තිබ්බ පොස්ට් එකක් දැකල. ඒකත් ලපය ඇතුළු කස්ටියටම වෙච්ච දෙයක්. ඒක කියවන්න මෙතන කොටන්න.


ඉස්කෝලෙන් පනිනව කිව්වම කස්ටියට ඉතින් මතක් වෙන්නෙ තාප්ප, වැටවල් වගේ ඒවනෙ. හැබැයි ලපයගෙ ඉස්කෝලෙ නම් තාප්ප වැටවල් තරණය කරන්න ඕන වුණෙ නෑ. පනින අය හුඟක් යන්නෙ ගේට්ටුවෙන්. එහෙම යන එක චව්ව වෙනවනම් විතරයි විකල්ප මාර්ග භාවිතා කරන්නෙ. ඉස්කෝලෙ cut කරල පනින එවුන්ට පොදු හොර කැලෑ පාරවල් කීපයක්ම ඉස්කෝලෙ තිබ්බ. 


1. Prefect roomඑක ඉස්සරහ තිබෙන පොඩි ගේට්ටුවෙන් ගොස් Station එක (දුම් රිය පොළ) හරහා ප්‍රධාන මාර්ගය වෙත ළඟා විය හැකි මාර්ගය.
2. විදුහල් ගොවිපළ අසලින් වැටී ඇති මාර්ගය.
3. වඩු වැඩ කාමරය අසලින් ගොස්  Station එක හරහා ප්‍රධාන මාර්ගයට ළඟා විය හැකි මාර්ගය.
4. "ලෙබ්බෙ" නම් කැලය හරහා වන මාර්ගය.


මේ දැම්මේ ඒ වගේ තිබ්බ පොදු පාරවල් වලින් 4ක් විතරයි. තව පාරවල් තොගයක්ම තිබ්බ. (වර්තමානයේ මේ මාර්ගවල තත්වය කෙසේදැයි ලපයා නොදනී.)


ඉතින් ලපයලගෙ set එකෙ, ගේට්ටුවෙන් යාම ඇරුණම favorite මාර්ගය තමයි ඉහත සඳහන් කරපු 3 වෙනි මාර්ගය. ඔය මාර්ගය තමා බාධා අඩුම මාර්ගය. දවසක් ලපයලැයි පන්තියට උදේම තිබ්බෙ Chemistry. ඒක කලේ සිල්වා සර්. සර්ගෙ අන්තිම ගෝලයො ටික තමයි ලපයල. මොකද සර් විශ්‍රාම ගන්න තිබුනෙත් ලපයල උ/පෙ කරපු අවුරුද්දෙමයි. සිල්ව සර්ගෙ period 2ක ඉවර වුණාම තිබ්බෙ මැත period 2. එදා මැත කරන සර් නිවාඩු. ලපයලට ඒක සෑහෙන පාඩුවක්. මැත period 2ක තමා උ/පෙ කාලෙ funම period 2. (මැත කරපු පතිරගේ සර් ගැන වෙනම පෝස්ටු කීපයක් දාන්න  තමා  ලපය හිතාන ඉන්නෙ.) ඉතින් ලපයයි, අරවින්දයි, නිත්‍යයි, හික්ක set එකයි (මනුජ, විසිත්, චතුර) කස්ටිය ගෙදර යමන් කියල කතාකරගත්ත.


ඉතින් කස්ටිය එකා දෙන්න කැපිල මාරු වෙලා උඩින් කිව්ව 3 වන මාර්ගයේ ආව අලුත් පාර හන්දියට. එහෙම ඇවිත් එතන කඩෙන් කිරි පැකට් පාරකුත් දාල ක්ස්ටිය set වුණා ගෙවල්වල යන්න. හික්ක set එක ගාලු යන්න බස් එකේ නැග්ග. ලප‍යට ගෙදර යන්න විදියක් නෑ. ගෙදර කවුරුවත් ඇත්තෙත් නෑ. ගෙදර යතුරත් ලපය ළඟ නෑ. ඉතින් ලපය අරවින්දත් එක්ක උන්ගෙ ගෙදර යන්න set වුණා. අරවින්දයගෙ ගෙවල් ඉස්කෝලෙ ඉඳන් පයින් යන දුර. දැන් දෙන්න පයින් යනව shape එකෙ. එක පාරටම පස්සෙන් ආපු මෝටර් සයිකලයක් දෙන්න ළඟ නැවැත්තුව. 


"ආ....පුතේ කොහෙද මේ දෙන්නත් එක්ක??". හුටා :O :O :O... සිල්ව සර්. "සර් මේ.....අපි මේ......ගෙදර යන්න කියල..." කෙලින්ම උත්තර දුන්න. "ඇයි ඉස්කෝලෙ වැඩ නැද්ද??". "නෑ සර් අද පතිරගේ සරුත් නිවාඩු". "අනේ මන්ද තමුසෙල නම් හදන්න බෑ...තමුසෙලගෙ හොඳ වෙලාවට මමත් මේ short leave දාල යනගමන්. නැත්නම් තමුසෙල දෙන්න මන් කණෙන් ඇදන් යන්නෙ ඉස්කෝලෙට. කමක් නෑ තමුසෙල අදට යනවකො. තමුසෙල හින්ද මගේ වැඩේ පරක්කු කරගන්න බෑනෙ. හැබැයි තමුසෙල ගෙදර යන්න ඕන. වෙන කොහේවත් ගිහින් ලෙඩ දාගෙන අහුවෙනවකො බලන්න"."නෑ... සර් අපි ගෙදර තමා යන්නෙ. ගිහිල්ල පාඩම් කරන්න කියල බැලුවෙ". "අනේ මේ තමුසෙල කරන පාඩම්. කමක් නෑ අදවත් එහෙනම් පාඩම් කරනවකො. මේ මගෙන් දැන් බේරුණානෙ, වෙන කාටවත් මාට්ටු වෙන්නෙ නැතුව ඉක්මණට යන ගෙදරකට යනව". "හා...සර්". දෙන්නගෙම කෙලින් වෙලා තිබ්බ සරවාංගෙ මයිල් normal වුණේ එතකොට. 


"සිල්ව සර් හින්ද ගොඩ. කොහොමද වෙන බුවෙක් ආවනම්..??" අරවින්දය එහෙම කිව්වෙ වැටෙන්න ගිය තොප්පිය යන්තම් shape වුණ හින්ද.   


*************************************************************************

තවත් දවසක් ලපය, ලැටි, මනුජ, චතුර, චානක,....... (අනෙක් පිරිස මතක නැත.) ඉස්කොලේ cut කරන්න set වුණේ ආතල් එකට වාගේ. "මචං උඹල වඩු කාමරේ ළඟ ඉඳපන්. අපි වතුර බීල. චූපාරකුත් දාලම එන්නම්" එහෙම කියල මනුජයයි, චතුරයයි, චානකයයි වැඩේට ගිය අතර ලපයත්, ලැටීත් වඩු කාමරේ අසළට shape එකේ set වූණේ  අනික් එවුන් එනකම්. විනාඩිය 2  වුණා . දෙක 5  වුණා . පහ දහය  වුණා . එනව කිව්ව කස්ටිය තාම නෑ. ලැටී ගත්ත මනුජයට call එකක්. "අඩෝ....මම ලැටී කතා කරන්නෙ. වරෙන් බං ඉක්මණට. මොන හු*** කරනවද?" එයට පිළිතුරු ලෙස අනෙක් පසින් ඇසුණු දෙයින් රත් වෙච්චි ලැටී "මචං... වැඩේ දෙල් වෙලා...අරුන් අජාට මාට්ටු වෙලාද කොහේද...අපි මාරු වෙමු". ලපයා ලැටීගේ කීමට සුපුරුදු පාරෙන් ගොස් නැවතුණේ ගෙදර. වෙච්ච සිද්ධිය ලපයා දැනගත්තේ පහුවෙනිදා.


සිද්ධිය මෙසේය: වතුර බොන්නට ගිය කස්ටිය ටැප් එක ළඟදී අජාට මාට්ටු වී ඇත. (අජා යනු ලපයගෙ ඉස්කෝලේ සිටි නි.වි. කෙනෙකි. කොල්ලෝ ඔහුට ආදරේට කිව්වේ අජා කියාය. :P :P :P :P) අජා කෙලින්ම කස්ටියගේ phones අත්තඩංගුවට ගෙන ඇති අතර ලැටී call කර ඇත්තේ එවේලෙහිය. අජාට "ලැටී" යන්න ඇසී ඇත්තේ "ලැන්ටී" ලෙසය. එවිට "කව්ද ලැන්ටි කියන්නේ.....??" කියා අජා කස්ටියගෙන් අසන එක ලැටීට phone එකෙන් ඇසීම නිසා ලපයාට හා ලැටීට බේරීමට වසනාව ලැබී ඇත. :D :D :D



ප.ලි. :- ඉහත පෝස්ටුව comedy පොස්ටුවක් නොවේ. දැන් බ්ලොග්වල දැම්මද එකල ඕවා ඇඟේ මයිල් කෙලින් වෙන ඔලුව මඤ්ඤං වන සිද්ධිය. අප කාටත් ඔය වාගේ මතකයන් පාසල් කාලයේ ඇත. ඒ ගැන සැකයක් නම් නැත. 

පින්තූරෙ ගත්තෙ:-
http://barbieprincesscartoon.blogspot.com/2012/01/school-cartoon.html



Monday, July 9, 2012

ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය - "රළ" කිසිදා නොනවතින්නේම ය...



දිනය පසුගිය ජූලි 7 වෙනිදාය. ස්ථානය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයයි. එදින ගාල්ලට ඓතිහාසික දිනයක් වූවේය. ඒ කාරණා කිහිපයක් නිසාය. ඉන් පළමුවැන්න නම් ප්‍රසංග වාර 1500කට ආසන්න ප්‍රමාණයක් වේදිකාගත වූ ශ්‍රී ලාංකික සංගීතයේ සලකුණක් බඳු වූ විශාරද ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ  "ස" ප්‍රසංග මාලාවේ ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය උක්ත දිනයේ උක්ත ස්ථානයේ පැවැත්වීමය. දෙවැනි කාරණය නම් කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය වසර ගණනකට පසු පිරී ඉතිරීයාමය (House full වීමය.). තෙවැන්න වනුයේ එහි සංවිධාන කටයුතු කළ පිරිසය. සුවහසක් ජනතාවගේ හදවත් දශක කිහිපයක් පුරාම සප්ත ස්වරයෙන් පිනවූ ඒ ඓතිහාසික ප්‍රසංග මාලාවේ ගාල්ලේ අවසන් ප්‍රසංගය සංවිධානය කළ පිරිස??????????


ලපයා දැන් කියන්නට යන්නේ ඒ පිරිස ගැනය. ලපයාද එම පිරිසේම එකෙක් බව කියන්නේ සැබෑ ආඩම්බරයෙනි. ඒ පිරිසේ  ආරම්භය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. 2008 දී රිච්මන්ඩ් විද්‍යාලයෙන් අ.පො.ස. උ/පෙ ලියූ පිරිසෙන්, තමන් අකුරු කළ පාසල් මෑණියන් හට උදාර වූ සේවයක් කිරීමේ උතුම් අරමුණින්ම දියත් කරන ලද කණ්ඩායම "රිච්මන්ඩ් රළ 2008" වශයෙන් සමාජ ගතවිය. උක්ත ප්‍රසංගයේ සංවිධාන ශක්තිය 100%ක් ඔවුන්ගෙනි. ප්‍රසංගය තුළ "රළ 2008" වුවද (යම් යම් ප්‍රශ්න මත ) අන්තර්ගත ප්‍රාණය රිච්මන්ඩ්කමයි.  
(විධිමත් බසින් ලිවීම අවසන්...........:):):) )




 වැඩේ පටන් ගන්නේ 2012 මාර්තු මස "රළ 2008 ගෙට්" එකට දිනකීපයකට කලින්ය. "ගෙට්" එක දවසේ ප්‍රසංගය ගැන රළ සභාපති කියූ විට අත්පොළසන් ලැබුණේ එකසිය ගාණටය. කස්ටිය අමුතු කික් එකකින් වැඩ පටන්ගත්තා පමණි. වැඩේට බාල්දි එකක් නොව, දෙක තුනක් පෙරලුණේ "රළ" නිසල කිරීමටදැයි කියන්නට දන්නේ නැත. මූණු පොතේ මත විමසුම, බාල්දි ආපිට පෙරලුවේ මුහුදේ රළ පොලීසියෙන් දාලාවත් නවත්තන්නට නොහැකි බව පසක් කරගෙනය. කස්ටියම කීවේ "වැඩේ කරමු..මචංලා.." කියාය. රළ කොල්ලන්ට මේවා නුහුරු නුපුරුදු එව්ව නොවේය. ගාල්ලම හෙල්ලූ "විදුරුත් නින්නද 2008", බාල්දි පෙරලෙද්දී නොව බාල්දිවලින් ගහද්දීම කලේ...මේ අයියලා ටිකම බව දන්නෝ දනිති. ඒ ඉස්කෝලේ යන සූකිරි කොල්ලෝ කාලයේදීය. 


වැඩේ කරගෙන යාමට "රිච්මන්ඩ් රළ 2008", "රළ 2008" විය. රැයකින් පෝස්ටර්, කටවුට් වැදුණේ  රළ, සුනාමියක් වන බවට ඉඟි කරමිනි. ටිකට් විකිණීමට විධායක මඩුල්ල plan ගසා තිබුණි. 


"ස" පෝස්ටර්


ලපයාටද මදි නොකියන්නට ටිකට් ලැබුණි. ගෙදර ගොස් ටිකට් පෙන්වූ විට මෝටාර් ප්‍රහාර එල්ල විය. ඉස්කෝලේ වගකිවයුත්තෙක් තාත්තාට මුණ ගැසී කලින්ම ගින්න දීලාය. තාත්තා මගින් විකුණන්නට තිබූ ටිකට් විකිණීම සිහිනයක්ම විය. ලපයා, උදාරංග සමඟ ගේමට බැස ටිකට් විකුණුවේය. ඉහත කතාව කිව්වේ රළේ සැවොම ටිකට් විකුණන්නට කාපු කට්ට අඟවන්නටය. මුලදී ටිකට් එපා කියූ අය පසුව වද දෙන්නට වූයේ "අර ටිකට් මෙච්චර ඕන, මේව මෙච්චර ඕන" කියාය. සීට් ගණනට ටිකට් විකිණින. "මචන් අද ටිකට් කීයක් දුන්නද? කොහොමහරි ටිකට් දීපිය"යි කියූ සංවිධා‍යක මඩුල්ල "දැන් එක ටිකට් එකක්වත් දෙන්න එපා යකො...show එක දවසෙදි මිනිස්සු ගහන්න ආවොත් උඹලම කාපං ගුටි......!"£$%^&*, House full බං" කියන්නට විය.


පසුගිය ජූලි 7 වෙනිදා ශ්‍රවණාගාරය අතුරු සිදුරු නැතුව පිරී ගියේය. "දැන්නම් House full" "නෑ// අපි හිටගෙන හරි බලන්නම්...ටිකට් දෙන්නකො...." මිනිස්සු පොරකන්නට විය.  




"ලපයට මඤ්ඤංද????....හරි‍යට උන්ගේ රළද මොකක්ද එකෙන් විතරයි වගේ House full showඑකක් කරෙ.....උගේ හෙණ ලොකු සීන්..." මෙහෙම හොහිතුණා නම් තමා පුදුමෙ. සමහරුන්ට රළ 2008 එවුන් පොඩි එවුන්ය. "උන් කොහොමද ඕකේ වියදමවත් cover කරගන්නෙ...... :/ :/ :/.." කතාව ඇත්තය. නැට්ටට කිරි උරන්නට අරගෙන යන්තම් වසර දහයක් ගෙවෙන තැන ඉන්න පිරිසකි "රළ 2008". නමුත් ලපයාට හැඟෙන දැනෙන පරිදි "රළ 2008" කලේ..... සම වයසේ කවුරුවත් නොකළ වැඩකි. අපගේ තවත් සහෝදර පාසලක 2008 කණ්ඩායම පාසල හැර ගිය පසු ප්‍රථමවරට කස්ටිය එකතු කර ක්‍රිකට් මැච් එකක් ගැහුවේ මේ පසුගියදාය. "රළ 2008" කොල්ලෝ ඒක පාස් කර දැන් ගොඩක් කාලයක් ගතවී ගොසිනි. එහෙයින් මේ කාර්යය එවැන්නන් හට සිතන්නටවත් පුළුවන් කාර්යයක්ද??


අර්ථයෙන්ම පොහොසත් වූ මනසක් "රළ 2008"ට උරුම කළ  රිච්මන්ඩ් මාතාවට උපහාරයක්ම වේවා......!!!!!!! "රළ 2008"න් රිච්මන්ඩ් මෑණියන්ට වෙන සේවය ඉක්මණින්ම සිදු වේවි.... එදාටත්  අනිවා ලපය පොස්ට් එකක් දානව. :) :)






මහ මුහුදෙ රළ ගහන්න පටන්ගත්ත දවස කවුරුවත් දන්නෙ නෑ... රළ ගහන එක ඉවර වෙන දවස කවුරුවත් දන්නෙත් නෑ......රළ ගහන එක කවදාවත් නවතින්නෙත් නෑ.......මොන බාධක තිබුනත් රළ ගහනව......ඒකයි ඇත්ත....





පසු සටහන:- 

ගාලු පුර අවසන් "ස" ප්‍රසංගය සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වූ "රළ 2008" සහෝදර කැලට මේ පෝස්ටුව උපහාරයක්ම වේවා!!!!!!! 




රළ 2008 කණ්ඩායම විශාරද ආචාර්ය වික්ටර රත්නායක මහතා සමඟ




පින්තූර අනුග්‍රහය :- පුන්සිසි විද්‍යාරත්න සහෝදරයා ප්‍රමුඛ රළ 2008 ඡායා රූප ශිල්පීන්






























Wednesday, June 27, 2012

Coke එපා, Pepsi එපා.... :P :P




ඔබාමත් හෙලුවෙන්ලු.....
Coke එපාලු
Pepsiත් එපලු

අනේ මන්දා???
එතකොට ඇමරිකාවෙන් ණය???
එවත් එපාලුද?


පින්තූරෙ ගත්තෙ :- http://www.fmnewsnewyork.com/news/local/story.aspx?ID=1667472

Saturday, June 16, 2012

කතරගම..............




දිගු ගමනකට පස්සෙ - නැවතුණා වාහනය...
නවාතැන් පොළක් ළඟ - කලින් 'බුක්' ලද...
දන්නේම නැතිව - ඇවිත් කතරගමටම...
'ඉක්මණට ඉක්මණට' - අම්මාගේ හදිස්සිය...
යන්නට හතේ පූජාවට...




මුලින් කිරි වෙහෙර - වැඳ පුදා ගත යුතුය...
එයින් ලද මහඟු පින - අනුමෝදන් කරමු කදිර සුරිඳුට...
එයයි පිළිවෙල - නිසි අනුසස් ලැබුමට...
මා අසා තිබූ එය - සත්‍යයකි සිතන කළ...
බොහෝ දෙන නොදන්නවාට...


කිරි වෙහෙරට - යන පාර..
සුන්දරය පියකරුය - සිත මඳක් සනසවන...
'අනේ අපෙනුත් මල් ගන්න' - නුපුරුදු නොවේ අතරමඟ...
අක්කලා නංගිලා - පොරකති අපට මලක් විකුණන්න...
කිරි වෙහෙර පුදන්නට...




සිතුණි මට - එක දෙයක් ගැන...
භක්තියක් සිතින් ගෙන -  වන්දනාවේ යන්න.. 
පුදබිමකි අපට කතරගම - දොහොත් මුදුන් දී වඳින...
මේ අක්කලා, නංගිලාට - ජීවන මං තෙරයි කතරගම...
බඩ වියත රැකගන්නට...



සැ: ‍යු: -  මෙම නිසඳැස ලපයා විසින් අ.පො.ස. උසස් පෙළ  කේවල ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ "පන්හිඳක අඬහැරය" නිසඳැස් සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී. 


පිංතූර ගත්තෙ: -
http://www.panoramio.com/photo/61667914
http://www.ds.gov.lk/ds/katharagama/english/index.php?p=special_attraction




Wednesday, June 13, 2012

Project එකේ වැඩ හිරවෙලා......"£$%^&




2012 අවුරුද්ද පටන් ගත්තෙ අතල් එකේ.......ඒ මොකද කියනවනම්.. ලපය කරන course එකේ අන්තිම අවුරුද්ද තමා 2012. (හරියට කර ගත්තොත් තමයි. නැත්නම් ඉතින් තව අවුරුද්දක් අදින්න වෙනව සැප කණේ තියාගෙන.) 


පටන් අරන් මුල් සතියෙ ඉඳන්ම ලපයයි බැචාලයි ඔක්කොම දත කෑවේ final year project එකක් හොයා ගන්න. Project එක හැබයි individual....ඒ කියන්නෙ තනියම තමා කරන්න තියෙන්නෙ... 


Project එක තනියම කරන්නත් ඕන.. හැබැයි කලින් කරපුව කරන්නත් බෑ... එහෙම කරනවනම්.. lecturersල කියන අලුත් කෑලි-බෑලි add කරන්නත් ඕන. (මොකද මේක UK course එකක්නෙ. ලොකු කමට කියනව නෙවේ..ලංකාවෙ group උනාට එහේ.. individualලු.) 


කොහොමින් කොහොම හරි Car park එකක් සම්බන්ධ project එකක් තෝර ගන්න ලපයට පුලුවන් වුණා කියමුකො.....


ඊට පස්සෙ Project Proposal එක දීල proposal presentation එකත් කළා කියමුකො.....


ඊට පස්සෙ සිංහල අලුත් අවුරුද්දයි, semester end exam එකයි ආපු හින්දා ලපයට project එක ගැන මතකවත් නැතුව ගියානෙ.... 


ලපයට විතරක් නෙමේ...බැචාල හුඟ දෙනෙකුට එහෙම වෙලාලු... 


Dial එක ඕන බඩු මුට්ටු ටික නම් order කරල ගෙන්න ගත්ත නොවැ.. 


හැබයි ඒ මුකුත් මේ සතිය වෙනකම් ඇල්ලුවෙවත් නෑ... මේ සතියෙ ඉඳන් ලපය එව්ව අතපත ගාල හෝ ගාල වැඩ පටන්ගත්ත.....


මොකද දන්නවද??...මේ මාසෙ අග project එකෙ progress එක බලන viva එකක් තියනව කියල ආපු ආරංචියට..... 


දැන් ලපයා ඉරාගෙන project එකේ වැඩ කරන්නෙ.... ඒ මොකද progress viva එකේදි project එක 50%ක් ඉවර කරල තියෙන්න ඕනෙයි කියල කතාවක් යන හින්ද.... 50% බැරි නම් 35%ක් වත් කරගන්න පුළුවන් වෙයිනෙ... 



ලපයට දැන් මතක් වෙන්නෙ... ලපයගෙ තාත්තා, ලපය උ/පෙ කරන කාලෙ ලපයට කිව්ව කතාවක්.... 
"ඕයි, තමුසෙ විභාගෙට කලින් දවස වෙනකං ඉන්නෙ නැතුව... දැන් ඉඳන් ටික// පාඩම් කරපිය.." කියල.... 


එතකොට ලපය කියපු කතාව මොකද්ද දන්නවද??
 "අයියෝ තාත්තෙ...මම නිකන් පකිස්තාන් Cricket team එක වගේ... මුලින් ලෑල්ල දාල පස්සෙ අන්තිම හරියෙ අෆ්‍රිඩි ගහනව වගේ.. 6 ඒව ටිකක් ගහල මැච් එක ගොඩ දානව"කියල. 


උ/පෙ නම් ෂේප් උනා.... 


දැන් තමා තේරෙන්නෙ..තාත්තගෙ කතාවේ වටිනකම......


ඕනම වැඩක් කරද්දි මුල ඉඳන්ම ටික ටික ඉස්සරහට යන එක තමා හොඳ....
(ලපය බක පණ්ඩිත සීන් දානව කියල හිතන්න එපා....ලපයත් ඉස්සරහ එන වැඩ ඔක්කොම එහෙම කරන්න තම හිතාන ඉන්නෙ...) 


පිංතූරෙ ගත්තෙ: - http://permanentstressrelief.com/




Tuesday, June 12, 2012

දැන් phones වගේ ද ඒ කාලෙ phones.......එව්ව එළකිරිනෙ.......(Y) (Y)

ආයුෂ බොහෝ වෙන්න!!!!! කියල සුපුරුදු පරිදි ලපය මේ හදන්නෙ.... තවත් ලපයටම වෙච්චි කතාවක් බ්ලොග් එකේ කොටන්න. මේ කතාවත් අයිති වෙන්නෙ අතීතයේ මිහිරි මතක (හිනාවීමට/ඇඬීමට ) කියන කැටගරියට. ඒ කියන්නෙ...පරණ සිද්දිමන්ට් එකක් තමා දාන්න යන්නෙ.... මේක වුණේ 2008දි. ලපය පළවෙනි පාර අ.පො.ස. උ/පෙ කලේ ඔය අවුරුද්දෙ. (ලපය කියන්නෙ...ඉතින් උ/පෙත් 2පාරක් කරපු කොල්ලෙක් හරිය..... :P :P :P)


කොයි කවුරුත් කරනව වගේ උ/පෙ ඉවර වෙලා පොඩි trip එකක් යන්න ලපයයි තව යලුවො ටිකකුයි set උනා. අර exam stress ද මොකද්ද තියෙන්නෙ... ඒක යවා ගන්න තමයි trip එක යන්න set උනෙ.. යාලොවො set එක තමයි උදාරංග, බුද්ධිම, පුෂ්පක, පූර්ණ, සඳුන්. trip එක ගියේ කන්ද උඩරටට...ඒ කියන්නෙ මහනුවරට. එහේ බුද්ධිමගෙ නෑදෑයො හිටපු නිසා ඉතින් කෑම බීම, ඉඳුම් හිටුම් ප්‍රශ්නයක් උනෙත් නෑ. නඩේ පළවෙනි දවස් දෙකේ හිටියේ පෙරාදෙණිය - ගලහ පාරෙ පේරා කැම්පස් එක මායිමේ තියන රාමනාදන් hostel එක පේන තෙක්මානෙ තියන ගෙදරක. ඒ ගෙදර හදාගෙන යන ගෙදරක්. නඩේ 6ක් නිසා ඒ මුළු ගේම set කොරල තිබ්බ නඩේට ඉන්න.


ඉතින් ඒ ගෙදර වට පිට ඇවිදල බැලුව. පට්ටම place එකක්. එහෙම වටේම ඇවිදල බැලුව... හුටා..... ලැට් එකේ දොරක් නෑ....ඇතුලේ bathrooms තාම හදල ඉවර නෑ.. දොරක් නැතුව කරන වැඩ ටික කරගන්න තිබ්බ... ඉස්සර ගෑණු ළමයි ඉන්න බෝඩිමක් තියන ගෙයක් නොතිබ්බනම්. වට පිට බලල දොරක් වගේ එකක් හොයාගත්ත ලැට් එක වහගන්න.... ගෙදර හදාගෙන යන එකක් නිසා ගෙදරට current supply එක හරි‍යට අරගෙන නෑ. supply එකක් දීල තිබිල... එකෙ අවුලක් නිසා ලයිට් වැඩ නෑ...'අවුලක් නෑ..fun එකනෙ' කියල ඉටිපන්දම් වලින් ඉන්න set උනා...   


මේ අතරෙ නඩේ හිටිය සඳුන ගාව තිබ්බ Nokia 1100 phone එකක්. ඒ phone එක ගැන නොදන්න කෙනෙක් නෑනෙ ලංකාවෙ... පොලවෙ ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්, කෙටියෙන් කවුරුත් දන්න බාසාවෙන් කිව්වොත් ඉතින් පට්ට ගහන්න පුළුවන් phone එකක්නෙ 1100 (වන්// ඩබල් සීරෝ) කියන්නෙ.:D :D :D :D... ඔකෙ තියනවනෙ පොඩි torch එකක්. (1100 එකට torch phone කියල කියන්නෙත් ඔය හින්දනෙ...) ඉතින් ඔය phone එකේ torch එක තමා කස්ටිය මහ රෑ ලැට් එකට යනකොට එළිය ඩිංගක් ගන්න ගෙනිච්චෙ....... ඉතින් මහ රෑ ලපයටත් පොඩි මුත්‍රා බරක් හැදිල ගියා කියමුකො... 1100 torch එකත් කිහිල්ලෙ ගහගෙන ලැට් එකට.... (මුත්‍රා බරක් නිසාම වැසිකිළිය වෙත ගිය බවත් අත සම්බන්ධ කාර්යයකට හෝ වෙනයම් කාර්යයකට එලෙස නොගිය බවත් ලපයා තරයේ කියා සිටියි. :D :D :D :D)


ඉතින් ඔහොම හෙමින් සීරුවෙ නිදහස් චතුරශ්‍රෙ නිදහස සැමරුව කියමුකො. නිදහස සමරල වතුර ගහන්න කියල ලපය පස්ස්ට උනා විතරයි.. කිහිල්ලෙ ගහන් හිටපු...1100 එක..ජබොස්!!!!!!!....ලැට් වලේ..... හුටා :O :O :O.....ලපයගෙ අඟට නිකන් current වැදුණ වගේ.... මලහත් ඉලව්වයි!!!!!!!!!... ලපයගෙත් නෙවේ phone එක.....කරන්න දෙයක් නෑ කියල...වලට අත දාල ගත්තෙ නැතැයි phone එක.....(තමන්ගෙම එව්වැයි මොන කැතක්ද??.. ඇයි අපි රීල පස්සෙ අතින් හෝද ගන්නෙ නැද්ද??.... ඔය තියෙන්නෙ ඕන තරම් තර්ක.... :P :P...) ඊට පස්සෙ එළි‍යට බැහැපු ලපය.. tap එක ළඟ තිබ්බ face wash එක හැලුව phone එකට.... face wash ගාල phone හෝදපු පළමු සහ එකම කෙනා ලපය වෙන්නත් පුලුවන්..ඕං....


ඊට පස්සෙ ලපය ඇවිත් සිද්දිය අනිත් උන්ට කිව්ව..... උන්ට පැලෙන්න හිනා වැඩේට.. phone එක අයිති සඳුන කලබලයක් නැතුව ඇවිත් phone එක අරගෙන off කරන ගමන් කිව්ව..."අවුලක් නෑ.. බං.. මේව්ව sure බඩු...." කියල..... අන්න එවෙලෙ තමා ලපයගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ....පස්සෙ සඳුන phone එක ගලවල.. පිහිදාල වේලෙන්න තිබ්බ.....(අයෙ ඉතින් සුදු මූණ වගේ clean... face wash දාල හෝදලනෙ තිබ්බෙ... :) :) ) පහුවද උදේ නැගිටල phone එක re-assemble කරා... බඩු එළකිරි වගේ වැඩ....ලපයට පට්ටෙට Happy...ඇයි ඉතින් phone එක අවුල් උනා නම්.....මල හත් ඉලව්වයිනෙ.. :O....


ඊට කාලෙකට පස්සෙ පහුගිය දවස් වල ලපයට සඳුනව මීට් උනා ඉස්කෝලෙ Get - together partyඑකක් වෙලාවකදි.....ඌ ලපයව දැක්ක ගමන් කිව්වේ.. "මචං අර phone එක.........මතකනෙ.... ඒක මං ඊට පස්සෙත් අවුරුද්දක් විතර use කලා බන්....කිසි අවුලක් නෑ...ඒක Nokia  adඑකකට උනත් දාන්න පුලුවන් සීන් එකක් "කියල. 




පසු සටහන : - 


ඒ කිව්වේ ඒ කලේ phones ගැනය..එව්ව එළකිරි phonesය. දැන් තියන ඔය නානාප්‍රකාර android, i -phones, අරව මෙව්ව ඔය වගේ වගේ වලකට නොව...වතුර ඩිංගක් ඉහුනත්, වැහි පොදක් වැදුණත්... විසි තිස් දාහකට කෙල වෙන්නේ ය..... 


ලපයා වර්තමානයේද භාවිතා කරනුයේ හදිසියේ ගොස් මිළදී ගත් 1100 පරම්පරාවේ calls ගන්නට හා messages යවන්න පුලුවන් පමණක් පුලුවන් phone එකකි. එය ඕන තරම් පට්ට ගැසිය හැක්කේමය.. එය ලපයා full insurance දැම්මා හා සමානය.. :D :D :D :D...........................................   



පොලවේ ගගහා වුව පාවිච්චි කළ හැකි 1100 phones :D :D :D


පිංතූරෙ ගත්තෙ:-
http://www.gsmarena.com/nokia_1100-pictures-512.php

Friday, June 8, 2012

ඉස්කෝලෙ... මුල් දිනය


සුවිසල් ගේට්ටුව
බිය වැද්දුවා මගේ සිත....

මගේ අතින් ඇදගෙන
තාත්තා ගියා ඉදිරියටම....

අම්මාද පිටුපසින්
ආවා‍ය අප සමඟ....

මඟ දෙපස තුරු පෙළ
සැනසුවා මසිත යන්තමට....

තාර පාරේ රළු බව
නොදැනුණි මගේ දෙප‍යට එදින....

මා වැන්නවුන් ගොඩක්
හිඳී මාපියන් සමඟ....

මීටිමේ කතාබහ
මොනවාද?? මතක නැත....

චකිතය බිය හා මුසුව
කැරකුණා සිත තුළම....

පෝලිමේ පේළියට
ඇදුණෙ පංතිය වෙතට....

අම්මා-තාත්තා
යනු පෙනුණි ඈතටම....

හැඬුණි මට කෑගසා
දැන නොතේරුම්කමට....

ලපයා විසිනි.




පිංතූරෙ ගත්තෙ :- http://www.kimberanna.com/2011/08/22/first-day-of-school


Thursday, May 31, 2012

මචං.... අපි ගාල්ලේ ආව.....දැන් උඹලැයි ගෙදර එනව......

මා අද උදේම තාරක හා ඕෂධ සමඟ (මොවුන් මාගේ බෝඩිමේ මිතුරන් බව මීට පෙර "ඌ තාම Jokerනෙ බං...??" පෝස්ට් එකේදී සඳහන් කර ඇත්තෙමි.) SLIITඑකට ගොස් රු.60 පාන් බගෙ කා පැමිණියේ ඉක්මණට ගෙදර යෑමේ බලාපොරොත්තුවෙනි. එලෙස එන අතරමඟදී අපේ batch එකේ බොනී (බුද්ධික) මුණගැසුණේ SLIIT එකේ ගේට්ටුව අසලදීය. "මචං උඹල කොහේද යන්නෙ?" ඒ බොනීගේ ප්‍රශ්නයයි. "ගෙදර යනව බං" යැයි  පැවසූ අපි, ඉක්මණින්ම ඔහුගෙන් සමුගතිමු. තාරක හා ඕෂධ 17 බසයක (පානදුර-මහනුවර) නැගීම සඳහා ගිය අතර මම 177ක නැගී කොල්ලුපිටියට පැමිණියෙමි. විනාඩි කිහිපයක් කොල්ලුපිටියේ සිටි මා මාතර-කොළඹ බසයකට පෙ.ව.9.30ට ගොඩ වූයේ ගාල්ලට පැමිණීමටය.


බසයේ එන අතරමඟ බොනී මා ඇමතීය. නමුත් ඔහු කියු කිසි දෙයක් මා හට නොඇසුණේ ප්‍රයිවට බස් වලට පොදු වූ Hi-Fi සංගීතය නිසාය.(Hi-Fi සංගීතයෙන් ඉතිහාසයට වෙච්චි දේ කියවන්න :O :O.) "මචං මට උඹ කියන මුකුත් ඇහෙන්නෙ නෑ. මං බස් එකේ බං. මං උඹට පස්සෙ call කරන්නම්. ok..." කියා ඇමතුම විසන්ධි කළෙමි. 


දෙවියන්ගේ පිහිටෙන් මා ගාල්ලට ගොඩ බසින විට වෙලාව දහවල් 12.20ය. (ගාල්ලට පැය 2 මිනිත්තු 50කි. "රිය සක හැසිරූ දෑතට සම්මා සම්බුදු සරණයි!" මිනිසුන් කෙසේ කීවද... මෙවැනි ප්‍රයිවට් බස් රියදුරන් හට උපහාර පිදිය යත්තේමය. මන්ද යත් දහවල වාහන තදබද අතරේ... පැය 3කින් අපව ගාලු ගෙන එන නිසාය..... :P :P :P :P.) 



මා ගෙදරට අඩිය තියනවාත් සමඟ නැවතත් බොනීගෙන් ඇමතුමකි. "මචං උඹ දැන් කොහේද?". "මම දැන් ගෙදර ආව විතරයි බං...." මම පිළිතුරු දුනිමි. "අපි ගාලු ඇවිත් ඉන්නෙ.... දැන් උඹලයි ගෙදර එනව. කොහොමද ගෙදරට එන්නෙ....??". බොනීගේ වදනින් මම මඤ්ඤං වීමි. අද උදේ මුණගැසුණ එකා දැන් ගාල්ලෙ... වෙන්න බෑ//... "උඹල මට බයිටක් දෙන්නද හදන්නෙ... එව්වනම් ටිකක් අමාරුයි කොල්ලො...." මම කෙලින්ම පිළිතුරු දුන්නෙමි. "නෑ// බං සිරාවට.. අපි දැන් මේ කරාපිටියෙ ඉන්නෙ...". "පලයං බං යන්න.... මේකනම් උඹලයි ජෝගියක් තමා..." මට තාමත් බොනීගේ වචන විශ්වාස නැත. "නෑ// බං සීරියස්... මෙතන චූටිත් ඉන්නව." (චූටි හෙවත් පුබුදු ද මාගේ බැජෙකි.) "ඕයි මොහා....අපි කරාපිටියෙ බං ඉන්නෙ. පොඩි වැඩකට hospital එකට ආව. උඹලයි ගෙදරට මෙතන ඉඳන් ළඟයිනෙ.." ඒ චූටිගේ වදන්ය. පසුව මට 'මුන් ටික සැබැවින්ම ගාල්ලේ ඇවිත් බව' ප්‍රත්‍යක්ෂ විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දර්ශනයක්


ඉන්පසු මාගේ මඟ පෙන්වීමෙන් බොනීත්, චූටිත් අපේ ගෙදරට පාත් වූහ. උන් ගාලු ඇවිත් තිබුණේ...අධිවේගේය. (දක්ෂිණ අධිවේගී මාර්ගය) මා පැය ගාණක් කට්ට කා ගෙදර ආවත් උන් අධිවේගේ ගාල්ලට පැමිණ ඇත්තේ පැයකටත් අඩු කාලයකිනි. කඩුවෙල සිට කොල්ලුපිටියට මාර්ග අංක 177 බසයේ පැමිණීමට පැයකටත් අධික කාලයක් ගතවන බව, අපි අති මිහිරි අත්දැකීම්වලින් දනිමු. නමුත් අධිවේගේ කොට්ටාවේ සිට ගාල්ලට ගතවන්නේ පැයකටත් අඩු කාලයකි. එසේනම් කඩුවෙලට වඩා ගාල්ල කොළඹට ළංවී ඇතුවා නේදැයි කෙනෙකුට සිතීම වරදක්ද නොවේ.  


"මචං.... අපි ගාල්ලේ ආව.....දැන් උඹලැයි ගෙදර එනව......" යන වදන් පෙලට පිළිතුර මීට වසරකට කලින් නම් "අනේ පලයං බං යන්න......ආවනම් මෝඩ ඇළෙන් නාල වරෙන්..."යන්නය. දැන් පිළිතුර... "හා හා..වරෙන්.//" යන්න නොවේද?..... :D :D :D :D


ප.ලි. :- ෂික්!!! අපරාදෙ මට උනුත් එක්ක සෙට් වෙල ගාලු එන්න තිබ්බනෙ....ඉරාගෙන බස්වල කටු කන්නැතුව......... :( :( :( :(


ලපයා විසිනි.




Saturday, May 26, 2012

ඌ තාම Jokerනෙ බං......??

කාටත් ආයුබොවන්ඩ!!!! අදත් මේ ගෙදර ඉන්න කම්මැලිකමට ලියන්න ගත්තෙ. මේක මේ ලපයගෙ බෝඩිමේ වෙච්ච සිද්දියක්. ලපයගෙ බොඩිම නම් තියෙන්නෙ මාලඹේ ගැමුණුපුර ප්‍රෙස්ටීජ් සිටි එකෙ. මේ බෝඩිම කවුරුත් දන්නෙ double E බෝඩිම කියල. ඔක්කොම 11ක් ඉන්නව. ගිය අවුරුද්දෙ නම් මේකෙ හිටිය ඔක්කොම SLIITඑකේ EE කලේ. දැන්නම් CSN කරන 3දෙනෙකුත් ඉන්නව. ඒත් ඉතින් double E බෝඩිම කියල තමා, තාම කියන්නෙ. මොකෝ බහුතරය ඉතින් EE නෙ.... ;) ;) ;)


මේ සිද්දිය වුණේ මීට මාසෙකට විතර කලින්. ඒ කියන්නෙ කොල්ලො ටික examsවලට පාඩම් කරන දවසක. අපේ බෝඩිමේ ඉන්නව පට්ට dial එකක්. මෑන්ස්ගේ cardඑකනම් පට්ට එකක්...ඒත් අපි මෑන්ස්ට X කියල  කියමුකො. (card එක කීමෙන් ලපයාට මරණ තර්ජන පවා එල්ල වි‍ය හැක. කාටවත් මඩ ගැහීම ලපයගේ අරමුණක් නොවන බව සිහි තබා ගන්නවානම් හොඳය. දන්න  කස්ටිය හිතාගන්නකො. කාටවත් කියන්න ඕන නෑ. card එකෙ නෙමේ.. කතාවෙනෙ අතල් එක තියෙන්නෙ. OKKKK.) මෑන්ස් හැමදාම බෝඩිමේ නෑ. හැබැයි ඉන්න දවසටනම් බෝඩිමේ ආතල් කෝටියයි. ඉතින් ඔය සිද්දිය වෙච්චි දවසෙ කස්ටිය (රවී, ඕෂධ, ලකා, රොෂාන්, ලහිරු, තාරක, ලපයා,.......) තම තමන්ගෙ laptop computers දිග ඇරගෙන වැඩ. ඔය වැඩ කරන අතරෙ කස්ටිය FB, Google, Youtube අමතක කරන්නෙත් නෑනෙ. එක පාරටම ලපයගෙ එහාපැත්තෙ හිටපු Xගෙන් ලපයට ප්‍රශ්නයක්......  
සුප්‍රකට විකට නළු ජොනී ලිවර්


X :- මචං, උඹ ජොනී ලිවර්ව දන්නවද?


ලපයා :- ඔව් බං, අර tamil නළුවනෙ??


X :- නෑ... බං ඌ හින්දි එකෙක්......


ලපයා :- ආ....ඔව් ඔව් දන්නව// පොඩ්ඩක් මිටි dial එකනෙ..??


X :- ඔව් ඔව් මේ ඉන්නෙ....
(X, ජොනී ලිවර්ගේ Wikipedia පිටුව පෙන්වයි. අනෙක් එවුන්ද මෙවෙලේ එදෙස බලති.)


X :- ඒ.... බං ඌ 1950නෙ....


ඕෂධ :- ඉතින්......... ඔව්..දැන් ඉතින් අවුරුදු 60 ගාණක්නෙ....


X :- ඉතින් බං ........... ඌ තාම jokerනෙ......
(කස්ටි‍යට දැන් පට්ට ආතල්ය. බෝඩිමම හිනා සාගරයකි. LOL)


රවී :- ඇයි බං අවුරුදු 60 එවුන්ට joke කරන්න බැරිද..?? 
(කස්ටියට තවමත් හිනාය.)


X :- ඉතින් ..බං... 
(මෑන්ස්ට දැන් රතු කට්ට පැනලාය.)


ලපයා :- ඉතින් බං කියන්නෙ....?? 60 පැන්නාම.. joke කරන්න බැරි ලෙඩක් හැදෙනවද? මෙහෙත් ඔය වයසට ගියත් හොඳට joke කරන එවුන්....


X :- අනේ බං හු__ මෙහෙ ඉන්නෙ ගොන් joke දාන එවුන්නෙ....
(කස්ටිය තාමත් කොචොක් එකට මෙන් හිනාවය.) 


X :- උඹලට ඉතින් එව්වත් ආතල්.....උඹලයි තියෙන්නෙ ඉතින් හරක් ආතල්නෙ.....කැ_ හු___ £$%^&..........


කොහොම හරි එදා නිදා ගන්නකම්ම X බයිට්. පහුවෙනිදා උදේත්.........කස්ටිය dial එකෙන් "මචං..ඌ තාම jokerනෙ?" කිව්වහම....... X කස්ටියගේ හත්මුතු පරම්පරාවම සිහි කරානෙ..... :D :D :D




කතාව ආතල් මදිද මන්ද............. වෙලාවෙ හැටියට..... අමාරුවෙන් හරි ලේ පිරිසිදු කරගන්න....හොඳේ.... :D :D :D :D


පිංතූර ගත්තෙ :- http://www.fanoos.com/bollywood/johnny_lever.html




  

Saturday, May 19, 2012

යුධ ජයග්‍රහණයෙන් වසර 3ක් ගතවන තැන ලියමි...



ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අපගේ මව්බිම වසර 2000කට අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන රටකි. විජයාගමනයෙන් ජනාවාස වූ බවට ලිඛිත සාක්ෂි හමුවී ඇතත් ඉන් පෙරද සශ්‍රීක වූ දිවයිනක් ලෙසට පැවති බවට ප්‍රාග් ඓතිහාසික සාක්ෂිද අප සතුව ඇත. ආර්යයන් ප්‍රමුඛ ස්වදේශික යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන්ගෙන් ඇරඹි සිංහල ජාතියත්, ආක්‍රමණ හා පාලකයන්ගේ අවාහ-විවාහ සම්බන්ධතා මගින් සංක්‍රමණය වූ දෙමළ ජාතියත්, වෙළඳ කටයුතු සඳහා සංක්‍රමණය වූ මුස්ලිම් ජාතියත් අද වන විට ශ්‍රී ලංකා තලයේ ප්‍රධාන වශයෙන් ජීවත් වෙති. ස්වභාවික සම්පත් අතින් ඉතා පොහොසත් වූ අප රට ස්වභාවික ව්‍යසනයන්ගෙන් අවම වීම වාසනාවට කරුණකි.


ඈත අතීතයේ සිටම ලෝකයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පැවති බවට සාධක බොහෝ පවතී. එහි උච්චතම සාධකය වනුයේ අප රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ට යටත්ව පැවතීමට වීමයි. මෙසේ යටත් විජිතකරණයට ලක් වූ ලංකාව ඉතා සීග්‍ර වෙනසකට බඳුන් වූ බව අප සැම දන්නා කරුණකි. මෙම වෙනස අප රටට යම් සාර්ථකත්වයක් මෙන්ම අති විශාල අසාර්ථකත්වයක් ද අත්කරදීමට තරම් ප්‍රබල වී ඇත. ආර්ථික හා ප්‍රවාහන යන ක්ෂේත්‍ර වලින් ලද සාර්ථකත්වය අභිබවා යමින් සමාජීය හා දේශපාලන ක්ෂේත්‍ර අසාර්ථකත්ව‍යට ඇද වැටීම උක්ත කරුණ තෘප්ත කරන කාරණයයි.


සාමය සහජීවනය උපරිමයෙන් පවත්වා ගනිමින් ජීවත් වූ අප ජාති, කුල භේද ඇති කර ගනිමින් රට දෙකඩ කරගැනීමට පවා ගැටුම් ඇතිකරගත්තේ ඉහත කී අසාර්ථකත්වය නිසාය. මා දකින ආකාරයට ජාතීන් අතර භේදය ඇරඹෙන්නේ ඉංග්‍රීසි පාලන සමයේය. එකම ජාතියක් ලෙස පැවති රට තුළ දෙමළ, උඩරට සිංහල, පහතරට සිංහල අදී ලෙස නියෝජිතයින් පත් කිරීම අප රටේ දේශපාලන අසාර්ථකත්වයේ මූලයයි. (මෙලෙස නියෝජිතයින් වෙන වෙනම පත්කළ ආණඩු ක්‍රම  ප්‍රතිසංස්කරණය මා හට නිශ්චිතව මතක නැත. මෙම ප්‍රතිසංස්කරණයට පෙර සීමිත ඡන්දයෙන් පත් වූ නියෝජිතයා වූයේ ද්‍රවිඩ ජාතික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාය. මෙය, මීට පෙර රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබී නොමැති බවට සාක්ෂියකි.)


ඉහත ආකාරයෙන් දිග හැරුණු ජාතිවාදී ප්‍රශ්නය උග්‍ර අතට පත්වනුයේ අප රටට 1948 දී ලැබුණු ඩොමීනියන් නිදහසින් පසුව‍ය. ඒ, පටු දේශපාලන වාසි අත්කරගනුවස් 1958 දී රටේ පාලකයින් ගෙන ආ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ තීරණයයි. ඉන්පසු 1983 දී ඇතිවූ වෙනම රාජ්‍යයක් සඳහා වූ ත්‍රස්ථවාදී යුද්ධය අප රට වසර ගණනකින් ආපස්සට ඇදගෙන යාමට තරම් ප්‍රබල විය. අද වනවිට අප ගෙවා දමනුයේ එම යුද්ධය අවසන් කළ යුගයයි. (මේ සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපගේ යුධ, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක රණවිරුවන් හට ප්‍රණාමය නිතැතින්ම හිමි වේ.) 





දැන් අප කළ යුත්තේ ඉහත කී දේශපාලන හා සමාජීය අසාර්ථකත්වයන්, සාර්ථකත්වයන් කරා මෙහෙයවීමය. පාලකයන්ගේ අදූරදර්ශී තීරණයන් හා දශක 3ක යුද්ධය නිසා සංවර්ධනය කරා යාම වෙනුවට එකතැන පල්වූ රට නියම මාවතකට යොමු කරවා ගැනීමයි. මා දකින ආකරයට යුද්ධය නිමවී 3 වසරක් ගෙවුණද තවමත් නිශ්චිත දේශපාලන සැලැසමක් ඒ සඳහා පාලකයන් අත නොමැත. ඒ වෙනුවට තවමත් පාලකයන් තුළ අත්තේ ජනප්‍රියත්වය පදනම් කරගත් එදා වේල පිරිමහන ක්‍රමයේ වැඩය. ඒ සඳහා මහාමාර්ග, වාරයවල් අනවශ්‍යය යැයි නොකියමි. යුද්ධය තිබූ ප්‍රදේශවල සංගීත සංදර්ශන, සැණකෙලි අනවශ්‍යය යැයි නොකියමි. නමුත් ඒවා තාවකාලික විසඳුම් වනවා නිසැකය. කළයුත්තේ සෑම ජාතියක් අතරම සාමය සංහිඳියාව ඇතිවන ලෙස වැඩපිළිවෙලක් දියත් කිරීම බව මාගේ හැඟීමයි. එම වැඩපිළිවෙල සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සැලසුම් වීම උචිතය. එම වැඩපිළිවෙල කෙසේ වියයුතුද යන්න පිළිබඳ අදහසක් දීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොව් යැයි සිතමි. නමුත් ඊට ගැලපෙන මාගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කරමි. එය මෙසේය.


මාගේ බෝඩිමේ මා සමඟ ද්‍රවිඩ ජාතික මිතුරෝ කිහිපදෙනෙකුම සිටියහ. ඔවුන් මඩකලපුවේය. එක් නිවාඩුවක මා මඩකලපුවේ සංචාරය කළේ (2010 වසරේ දී) ඔවුන්ගේ ආරාධනයෙනි. එම අවස්ථාවේ මාගේ දර්සන් නැමති මිතුරාගේ පියා සමඟ කතාබස් කිරීමට අවස්ථාව මට උදාවිණි. ඔහු වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. මනා ලෙස සිංහල කතාකිරීමටද හැකියාව ඇත්තෙකි. ඔහු කීවේ මා උක්ත යෝජනා කළ වැඩපිළිවෙලට පදනමක් යයි මට සිතේ. එනම්,
"තම්බි..... මේ ප්‍රශ්නෙට පොලිස්, ඉඩම බලතල දීල වෙඩක් නෑ. කරන්න තියෙන්නේ... මේ පැත්තේ සිංහල මිනිස්සු පදිංචි කරන එකයි. දකුණෙ.. දෙමළ මිනිස්සු පදිංචි කරන එකයි. තම්බි... අපි හරි කෙමති සිංහල මිනිස්සුත් එක්ක එක ගමේ ඉන්න. අපි හැට, හැත්ත ගණන්වල එහෙම තමා හිටියෙ. දැන් බලාන්න වෙල්ලවත්තෙ පෙත්තෙ දෙමළ මිනිස්සු ප්‍රශ්නයක් නැතුව ඉන්නවනෙ. ප්‍රශ්නයක් උනත් ඒ අපේ එවුන්ම හදාගන්න ප්‍රශ්නනෙ. දැන් මේ අපෙ ළමයි කොලම්බු ඉඳන් ඉගනගන්නව. එහෙම ප්‍රශ්නයක් නෑනෙ." කියලාය. 
සැබැවින්ම ඔවුන් එදවස යුද්ධයෙන් විශාල ලෙස බැට කෑ උදවියයි. නමුත් ඔවුන්ගේ සිත්වල මේ ප්‍රශ්නය සම්බන්ධව පැහැදිලි අදහසක් හා ඊට විසඳුම් ඇති බව මට හැඟුණි.


එසේ නම් ප්‍රථමයෙන්ම දේශපාලකයින්ගේ පටු අදහස් දුරලා වඩා සාධාරණ වැඩපිළිවෙලක් ඉක්මණින්ම අවැසිය. එම වැඩපිළිවෙල දේශපාලන විසඳුමක් ද? නැතිද? යන වග සාධාරණත්ව‍ය මත පදනම් වේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන දින අප මව්බිමේ සාර්ථකත්වය ඇරඹෙන දිනය වනු නිසැකය. ජනතාව සහජීවනයේ දෑත එකිනෙකා වෙත දිගුකළ යුතුය. අවිය දෑතින් අත්හළ යුතුය. එසේ නොවුණහොත් යුධ ජයග්‍රහණයෙන් කී වෙනි වසර ගතවන තැන ලියුවද.... ලිවීමට ඉතිරි වනුයේ මේ ලිපියමය...



  • මෙම ලිපිය මාගේ (ලපයාගේ) අදහස් යොදා ලියූවක් වන අතර මා ඉදිරිපත් කර ඇති ඓතිහාසික කරුණුවල නිර්වද්‍යභාවය හා අදහස් පිළිබඳ ගැටළු පවතීනම් ඒවා විචාර (comments) මගින් නිවැරදි කරන මෙන් ඉල්ලමි. 


පින්තූර ගත්තෙ: -
http://upload.wikimedia.org/wikipedia/commons/7/7d/Flag-map-of-sri-lanka.png
http://federalidea.com/fi/2008/12/post_51.html




 




Tuesday, May 15, 2012

බල්ලගෙ පිටින් දාල බේරුණ බූරුවො ටික...

ඉතිං..දීර්ඝායුෂම ලැබේවා!!! කියලම පටන් ගන්නම්කො. අදත් ඉතින් මම මේ හදිස්සියෙම මීටරේට වැටිච්ච සිද්දියක් තමා දාන්න කියල බැලුවෙ. මේක ඉතින් සොඳුරු පාසල් සමයේ රස කතා ගණයට තම වැටෙන්නෙ...  මේක සිද්ද වුණේ 2005. ඒ කියන්නෙ සුනාමියෙන් පස්සෙ රට ගොඩ එමින් තිබූ යුග‍ය. ඒ විතරක්ද ලපය, අ.පො.ස. සා/පෙ කරෙත් ඔය අවුරුද්දෙමනෙ.

මේක වුණේ අපෙ ඉස්කෝලෙ..(ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ ). ලපය හිටියෙ E.R.ද සිල්වා ගොඩනැගිල්ලෙ තිබ්බ 11-D පංතියෙ. උදාරංග, මාතු (ආසිරි ), අරවින්ද, ලක්ෂිත (ප්‍රෙඩේටර්), නිත්‍ය, පෙතියා (පෙතියාගොඩ ), මදූෂ, රසික, සමත්, පාරමී..........11-D එකේ හිටිය ටික දෙනෙක් තමා ඔය. පන්තිය භාරව හිටියෙ ලංකා මිස්. මිස් අපේ 10, 11 අවුරුදු 2කේම පංති භාර මිස් වගේම, අපිට ඉංග්‍රීසි විෂයත් ඉගැන්නුව.


ඒ දවස්වල ඉතින් ඉස්කෝලෙ ඇරුණම පංතියෙන් අන්තිමට පිටවෙන ළමය තමයි පංතිය lock කරල යන්න ඕන. ඉතින් පංතිය lock කරන පුද්ගලය දවසින් දවස වෙනස් වෙනව. එක සිකුරාද දවසක ඔහොම පංතිය lock කරල කොල්ලො ටික ගෙවල්වල ගිහින් තිබ්බ. සෙනසුරාදා, ඉරිදා කස්ටියම ආතල් එකේ ඉඳල සඳුදා ආව කියමුකො අයෙත් ඉස්කොලෙට. එහෙම ඇවිල්ල පංතිය ඇරියම තමයි......ආතල් එක ආතල්  කෝටියක් උනෙ. :D :D :D .... සිකුරාද පංතිය වහල තියෙන්නෙ වල් බල්ලෙක් පංතිය ඇතුළට දාල. ඇතුළට දාලමත් නෙවේ... ඌ රිංගල. (පුරුද්දටද කියල කව්ද දන්නෙ...:D) බල්ල දවස් 2ක් ඇතුලෙ හිර වෙලානෙ හිටියෙ.. ඌට කන්නත් නෑ, බොන්නත් නෑ. හැබැයි පංතිය පුරාම ජරා කරල. (රීලා කිව්වම කස්ටියට තේරෙයි නෙ. :P) බල්ල මුළු පංතිය පුරාම රෙන වැඩේ යහමින්ම කරල. මුළු පංතියම ගඳගහනව ලොවෙත් නැති වෙන්නම. කොල්ලො ටිකත් ඊය// ගානව මුකුත් කරන්නෙත් නෑ. අනිත් පංතිවල උන් එනව තොරණ් බලන්න එනව වගෙ පෝලිමට.. මේ බල්ල රීපු එක බලන්න. :) :) :).. දැන් කස්ටියට ප්‍රශ්නෙ කව්ද සිකුරාදා පංතිය වැහුවෙ? කියල. දැන් බලනකොට කවුරුවත් සිකුරාදා පංතිය වහල නෑ. එක එකා එක එක දවස්වල පංතිය වහන නිසා කවුරු වැහුවද කියල හිතා ගන්න බෑ. වහපු එකත් සද්ද නෑ. එදා එහෙම පංති‍ය වහපු  එකා අහු උනානම් ඌට පට්ට බයිටක් දෙන්න තමා හිටියෙ.


ඔන්න ටික වෙලාවකට පස්සෙ පංති භාර ලංකා මිසුත් ආව. මිස්ට වැඩේට හොඳටම තද වුණා. "පංතිය හෝදල දානව. Detol දාල. මට බෑ මෙහෙම පංතියෙ ඉන්න." කියල මිස් හොඳටම කොල්ලො ටිකට බැන්න. හැබයි ඒ වචන ටිකෙන් පස්සෙ කොල්ලොන්ට full fun. මොකද දැන් English periodඑක cut. (හැමදාම අපෙ 1st period එකේ තිබ්බෙ කඩ්ඩ. හිතාගන්න පුළුවන්න්නෙ කොල්ලොන්ගෙ කඩ්ඩ කොච්චරද කියල.)


මුළු periodඑකම අරගෙන කොල්ලො ටික පංතිය හේදුව ඩෙස්-පුටු ඔක්කොම එළියට දාල. ඊළඟට තිබ්බ period එකේ අදාල ගුරුවරය පංති‍යට එනකොට පංතියෙ ඩෙස්-පුටු ඔක්කොම එළියෙ. කොල්ලොත් කිව්ව  පංතිය හෝදල, පංතියෙ තාම වතුර කියල. ඔය වගෙ 2nd period එකත් cut. කොල්ලො දැන් පංතියෙන් එළියෙ fun ගන්නව. අනිත් පංතිවල කොල්ලො හූල්ල හූල්ල වැඩ. පංතියෙ වතුර වේලෙන කොට ආයෙත් වතුර දානව. ආයෙ වේලෙන කොට ආයෙත් වතුර දානව. කොහොම හරි එදා වැඩ කලේ සිංහලයි, විද්‍යාවයි විතරයි. සිංහල කරපු නාගවත්ත සර් ඇවිත් "අද පාඩමක් කරන්න බෑනෙ. කටපාඩම් කරන්න දීපු කවි ටික කටපාඩම් දීපියව්" කියල එළියෙ ඉඳන්ම කවි කටපාඩමින් ගත්ත. විද්‍යාව නම් ඉතින් කොහොමත් lab එකට ගිහින් කරන නිසා විද්‍යාව එදා කළා. විද්‍යාව කරපු රංජිත් සර් කිව්වෙ "තමුසෙලට ඕනකමක් තිබ්බනම් මේ lab එක අරගෙන periodවල වැඩ කරන්න තිබ්බනෙ" කියල... :D :D :D. ෂික්.. අපිට ඉතින් ඕනකමක් තිබ්බෙ නෑනෙ..කියල අපි ඉතින් හිත හදාගත්ත.. :P :P


ඉස්කෝලෙ අරින්න ටිකකට කලින් අපි පංතිය අයෙත් පිළිවෙලට ඩෙස්-පුටු තියල හැදුව.


ඒ වෙලාවෙ අංශ ප්‍රධාන සර් ඇවිත් "තමුසෙල අද කිසි වැඩක් කලෙ නෑනෙ. හොඳයි// බල්ලගෙ පිටින් දාල බූරුවො ටික බේරුණ.. එහෙනම්" කියල හිනාවෙල ගියා. :D :D :D











Friday, May 11, 2012

බයිලාවලට යටවුණු අපේ ඉතිහාසය........


ආයුෂ බොහෝ වේවා!!!!!! කියල ප්‍රාර්ථනා කරන ගමන්ම මේ හදන්නෙ...අලුත් පෝස්ටුවක් දාන්න. මේක මම මේ කොළඹ සිට ගාල්ල බලා එන අතරෙ බස් එකේ වෙච්චි දෙයක්. 


මම එදා අවේ මාතර-කොළඹ බස් රථයක (සාමාන්‍ය ගාස්තු ). බස් එක ප්‍රයිවට් බස් එකක්. කවුරුත් දන්නවනෙ ප්‍රයිවට් බස් වල ඉතින් බයිල, සජීවී ප්‍රසංග එහෙම වරදින්නෙ නෑ කියල. දැන් ඉතින් බස්වල TVත් set කරලනෙ තියෙන්නෙ. ඉතින් මම අපු බස් එකෙත් ඔය වගේ සද්දෙට සිංදු දාල තිබ්බෙ. ඔහොම එනකොට හික්කඩුව හරියෙදි  බස් එකට නැග්ග පොත් විකුණන මනුස්සයෙක්. කවුරුත් දන්නවනෙ..ඉතින් හොඳට තෙල ගහල බස් වල පොත්, සෙල්ලම් බඩු, දත් බෙහෙත්  විකුණන හැටි. ඉතින් අර මනුස්සය විකුණන්න ගෙනාවෙ ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන්ගෙ වැදගත් තොරතුරු ඇතුළත් පොතක්. ඒ කියන්නෙ රටේ ඉතිහාසය පිළිබඳ පොතක්. පොත් සාප්පුවලින් ගන්න ගියොත් බර ගාණක් වෙන්න පුලුවන් පොතක්.


අර මනුස්ස‍ය දැන් පොත ගැන විස්තර කරනව. ඒ විස්තර මොනවත් බස් එකේ කාටවත් අහෙන්නෙ නම් නෑ. ඇයි බස් එකේ රේඩියෝ එකේ බයිලයක් යනව කණ පැලෙන ගානට. ඒ මනුස්සය පොත පෙරල පෙරල විස්තර කරපු හැටියට නම් ඒක පාසල් යන නොයන කාටත් වැදගත් පොතක් කියලයි මට හිතුනෙ. කොහොමහරි ඉස්සරහම හිටිය දෙතුන් දෙනෙක් එකේ වැදගත්කම ඇහුණ නිසාද කොහේද පොත සල්ලිවලට ගත්ත. පොත් විකුණනපු මනුස්සය බස් එක මැද්දෙන් තෙරපි තෙරපි පිටිපස්සට ඇවිල්ලා පස්සෙ දොරෙන් බැහැල ගියා. 


මේ සිද්දියෙන් පස්සෙ මගේ අසුනෙ හිටපු uncle මගේ පැත්තට හැරිල කිව්වේ.... "දැක්කනෙ පුතා..ඉතිහාසෙ, බයිල වලින් බාල්දු වෙච්ච හැටි. ඉතින් කොහොමද රට හැදෙන්නෙ..." කියල.  සිද්දිය එතනින් ඉවරයි. 



පසු සටහන :- 
මට ඒ uncleගෙ කතාව ටියුබ් ලයිට් වගේ ටිකක් වෙලා ගිහින් තමා මීටර් වුණෙ. අද රටේ පාලකයොත් ජනතාවට කණ පැලෙන්නෙ බයිලනෙ කියන්නෙ. ඉතින් ජනතාවට ඉතිහාසය, සාහිත්‍යය, රටේ අනන්‍යතාවය ගැන මේ ලෝකෙ හැඟීමක් නෑ. මෙන්න මේක තමා රට එක තියෙන්න හේතුව කියල ලප‍යට හිතුණෙ.


"සාහිත්‍යය කන්නද?" කියල කව්ද ඇහුවලුනෙ ඒ දවස්වල. 


හැබැයි ඉතිහාසය, සාහිත්‍යය, රටේ අනන්‍යතාවය පිළිබඳ අවබෝධය ලබාගෙන ඒවයින් ගන්න පුළුවන් දේවල් අරගෙන ඉස්සරහට යනව මිසක් එව්ව ඔලුව උඩ තියාගෙන ගිහින් හරියන්නෙත් නෑ...... කියල තේරුම් ගන්න වෙනව කියලත් ලප‍යට තේරුණ.......


පින්තූරය ගත්තෙ :- http://sundaytimes.lk/071111/FunDay/mahawamsa.html

Thursday, April 19, 2012

ජසයා සහ ලෙංචිනා සමඟ නරි බෑණා


ඉතිං ආයුබොවන්ඩ.... ඔන්න මම අලුත් බ්ලොග් පිටුවෙ මුල්ම කතාව දාන්න කියලා හදන්නෙ (අලුත් බ්ලොග් පිටුව කියල කිව්වෙ මීට කලින් මම බ්ලොග් 2ක 3ක්ම ලිව්ව. පස්සෙ එව්ව නැවතුනා. දැන් එව්වගෙ නම්වත් මට මතක නෑ කියන්නෙ...). සිංහල දෙමළ අලුත් අවුරුද්දට පස්සෙ ඔන්න මං සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියලම පටන්ගන්නම්කො.

මේක මේ මම ඇතුළු මගේ යලුවොන්ට වෙච්ච ආතල් පිරි සිද්දිමන්ට් එකක්. කතාවෙ නම දැක්කම හිතන්න එපා මේක නාට්ටියක්ක කියල. ඒ අපි අ.පො.ස. උ/පෙ කොරන කාලෙ. ඒ දවස්වල අපෙ විනෝදාංශයක් තමා කස්ටිය එක්ක වේදිකා නාට්‍ය බලන්න යන එක. මොකද කරාපිටියෙ මෙඩිකල් කොලේජියෙ (Medical Faculty) තමා තිබ්බෙ ගාල්ලෙ හොඳම Auditorium එක(නුවර එළියෙ climateඑක ගන්න A/C එහෙම කොරල තියෙන්නෙ.). ඉතිං ඒක අපෙ ගෙවල් ළඟ හින්ද අපි ඔකෙ පෙන්නන නාට්‍ය බලන්න ගියා. (මෑන් ද මෑන්, සිංහබාහු, මනමේ, ගුරු තරුව,........ අය්යෝ සල්ලි කියල හිතෙනො.. බලපු නාට්‍ය කන්දරාවට.)

එදා අපි බලන්න ගියෙ දයානන්ද ගුණවර්ධන මහත්මයගෙ ජසයා සහ ලෙංචිනා සමඟ නරි බෑණා නාට්‍යය. (දන්න සිංහලෙන් කිව්වොත් ඉතින් ජසයා සහ ලෙංචිනා ft. නරිබෑණා). අපි කිව්වෙ මතක විදියට මමයි, උදා, ජයේ, සාරි, තව අපෙ ස්කොලෙ මල්ලිල 2/3න් දෙනෙකුයි තමා ගියෙ. (කෙටි නම්වලින් දැම්මෙ දන්න කස්ටිය විතරක් දැනගන්න.) අපි වාඩිගෙන හිටියෙ බිම් මහලෙ වේදිකාව කෙලින්ම පිටිපස්සෙම row එකෙ. මුලින් පෙන්නන්නෙ ජසයා සහ ලෙංචිනා. ඒක බලපු කස්ටිය දන්නවනෙ එකෙ තියන විනොදෙ. :P. විජය නන්දසිරි මහත්තයා තමා ජසයට පණ පෙව්වෙ මට මතක විදියට. ඉතින් ඕකෙ අපි විසිල් ගහල, කෑ ගහල පට්ට රසක් ගත්ත. (එදවස අප විසිල් ආදී රසවින්දන‍යට අවශ්‍ය වන ද්‍රව්‍ය නෘත්‍ය ශාලාවට රැගෙන යම්හ.) විවේකෙන් පස්සෙ ඔන්න නරිබෑණා පටන්ගත්ත. පොතේ ගුරු ඇවිල්ල නාට්‍ය සමාරම්භය සනිටුහන් කොලා කියමුකො.

ඔන්න ඊට පස්සෙ නරියා (රොඩ්නි වර්ණකුල මහතා) හෙමින් හෙමින් ආව වේදිකාවට. කස්ටිය දන්නවනේ ඉතින් නරියා මුලින්ම කියන වචන ටික. (8 ශ්‍රේණිය සිංහල පොතේ නරිබෑණා නාට්‍යය මතක ඇතැයි සිතමි.)

නරියා : මම මේ... කැලේ ඉන්න නරියෙක්.....

මෙහෙම කිව්ව විතරයි අපෙ එකෙක් කියපි "ආ.....ඇත්තද......?????" කියල.....ඒ එක්කම ඌ විසිල පාරකුත් ගැහුව.(අදාල පුද්ගලයාගේ නම සඳහන් නොකිරීමට මම සදාචාර සම්පන්න වෙමි.) බලන්න ආපු සෙනඟට පට්ටෙට හිනා... :D :D :D :D. හැබැයි රොඩ්නිට (නරි‍යට ) මලේ මල. මෑන්ස් නාට්‍යය නවත්තල අපෙ පැත්තට අඟිල්ල දික් කොරල කියපි "මේ පැත්තෙන් කෑ ගැහිල්ලක් ආව. ඔහොම කෑ ගැහුවොත් නම් ඉතින් අපිට නාට්‍යය නවත්තන්න වෙනව. කෑ ගහන්නෙ නැතුව silent එකෙ නාට්‍යය බලන්න." කියල. දැන් සෙනඟ අපේ පැත්ත බලනව, උන් අර කියපු එකට හිනාවුණෙ නෑ වගෙ. (හොඳ වෙලාවට ලයිට් නිවල තිබ්බෙ. නැත්නම් විනාසයි. :P) ඊට පස්සෙ රොඩ්නි "අපි අයෙ මුල ඉඳන් ගම්මු." කියල අයෙත් වේදිකාවෙන් බැහැල ගිහින් මුල ඉඳන් නාට්‍යය පටන් ගත්ත.

නාට්‍යය බලන කොට තමා අපිට තෙරුනෙ රොඩ්නි මහතා start එකෙදිම අපිට සද්දෙ දැම්මෙ ඇයි කියල....... එදා ගම දුවට ඉඳල තිබ්බෙ අලුත් නිලි‍යක්. සෙනඟ දිගටම කෑ ගැහුවොත් ඒ කෙලීට දෙබස් වැරදිල නාට්‍යය චොර වෙන්න ඉඩ තියන හින්දා නරියා කලින්ම වැඩ ඇල්ලුව.....

පස්සෙ අපි නාට්‍යය ඉවර වෙලා ලයිට් දාන්න කලින්ම ආව. ඒ ගෙදර යන්න රෑ වෙන හින්ද හොඳේ........... එනකොට තමා අර සිද්දියට අදාල පුද්ගල‍යට සුද්ද සිංහලෙන් දේශනාව දුන්නෙ. මෑන්ස් ඌට නෙමේ වගෙ ආතල් එකෙ ගියා කියහන්කො.....

ප.ලි. :- රොඩ්නි වර්ණකුල යනු ලාංකේය කලා ක්ශේත්‍රයේ සිටින සහ මා කැමතිම අති දක්ෂ රංගන හා ගායන ශිල්පියෙකි.