Thursday, May 31, 2012

මචං.... අපි ගාල්ලේ ආව.....දැන් උඹලැයි ගෙදර එනව......

මා අද උදේම තාරක හා ඕෂධ සමඟ (මොවුන් මාගේ බෝඩිමේ මිතුරන් බව මීට පෙර "ඌ තාම Jokerනෙ බං...??" පෝස්ට් එකේදී සඳහන් කර ඇත්තෙමි.) SLIITඑකට ගොස් රු.60 පාන් බගෙ කා පැමිණියේ ඉක්මණට ගෙදර යෑමේ බලාපොරොත්තුවෙනි. එලෙස එන අතරමඟදී අපේ batch එකේ බොනී (බුද්ධික) මුණගැසුණේ SLIIT එකේ ගේට්ටුව අසලදීය. "මචං උඹල කොහේද යන්නෙ?" ඒ බොනීගේ ප්‍රශ්නයයි. "ගෙදර යනව බං" යැයි  පැවසූ අපි, ඉක්මණින්ම ඔහුගෙන් සමුගතිමු. තාරක හා ඕෂධ 17 බසයක (පානදුර-මහනුවර) නැගීම සඳහා ගිය අතර මම 177ක නැගී කොල්ලුපිටියට පැමිණියෙමි. විනාඩි කිහිපයක් කොල්ලුපිටියේ සිටි මා මාතර-කොළඹ බසයකට පෙ.ව.9.30ට ගොඩ වූයේ ගාල්ලට පැමිණීමටය.


බසයේ එන අතරමඟ බොනී මා ඇමතීය. නමුත් ඔහු කියු කිසි දෙයක් මා හට නොඇසුණේ ප්‍රයිවට බස් වලට පොදු වූ Hi-Fi සංගීතය නිසාය.(Hi-Fi සංගීතයෙන් ඉතිහාසයට වෙච්චි දේ කියවන්න :O :O.) "මචං මට උඹ කියන මුකුත් ඇහෙන්නෙ නෑ. මං බස් එකේ බං. මං උඹට පස්සෙ call කරන්නම්. ok..." කියා ඇමතුම විසන්ධි කළෙමි. 


දෙවියන්ගේ පිහිටෙන් මා ගාල්ලට ගොඩ බසින විට වෙලාව දහවල් 12.20ය. (ගාල්ලට පැය 2 මිනිත්තු 50කි. "රිය සක හැසිරූ දෑතට සම්මා සම්බුදු සරණයි!" මිනිසුන් කෙසේ කීවද... මෙවැනි ප්‍රයිවට් බස් රියදුරන් හට උපහාර පිදිය යත්තේමය. මන්ද යත් දහවල වාහන තදබද අතරේ... පැය 3කින් අපව ගාලු ගෙන එන නිසාය..... :P :P :P :P.) 



මා ගෙදරට අඩිය තියනවාත් සමඟ නැවතත් බොනීගෙන් ඇමතුමකි. "මචං උඹ දැන් කොහේද?". "මම දැන් ගෙදර ආව විතරයි බං...." මම පිළිතුරු දුනිමි. "අපි ගාලු ඇවිත් ඉන්නෙ.... දැන් උඹලයි ගෙදර එනව. කොහොමද ගෙදරට එන්නෙ....??". බොනීගේ වදනින් මම මඤ්ඤං වීමි. අද උදේ මුණගැසුණ එකා දැන් ගාල්ලෙ... වෙන්න බෑ//... "උඹල මට බයිටක් දෙන්නද හදන්නෙ... එව්වනම් ටිකක් අමාරුයි කොල්ලො...." මම කෙලින්ම පිළිතුරු දුන්නෙමි. "නෑ// බං සිරාවට.. අපි දැන් මේ කරාපිටියෙ ඉන්නෙ...". "පලයං බං යන්න.... මේකනම් උඹලයි ජෝගියක් තමා..." මට තාමත් බොනීගේ වචන විශ්වාස නැත. "නෑ// බං සීරියස්... මෙතන චූටිත් ඉන්නව." (චූටි හෙවත් පුබුදු ද මාගේ බැජෙකි.) "ඕයි මොහා....අපි කරාපිටියෙ බං ඉන්නෙ. පොඩි වැඩකට hospital එකට ආව. උඹලයි ගෙදරට මෙතන ඉඳන් ළඟයිනෙ.." ඒ චූටිගේ වදන්ය. පසුව මට 'මුන් ටික සැබැවින්ම ගාල්ලේ ඇවිත් බව' ප්‍රත්‍යක්ෂ විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දර්ශනයක්


ඉන්පසු මාගේ මඟ පෙන්වීමෙන් බොනීත්, චූටිත් අපේ ගෙදරට පාත් වූහ. උන් ගාලු ඇවිත් තිබුණේ...අධිවේගේය. (දක්ෂිණ අධිවේගී මාර්ගය) මා පැය ගාණක් කට්ට කා ගෙදර ආවත් උන් අධිවේගේ ගාල්ලට පැමිණ ඇත්තේ පැයකටත් අඩු කාලයකිනි. කඩුවෙල සිට කොල්ලුපිටියට මාර්ග අංක 177 බසයේ පැමිණීමට පැයකටත් අධික කාලයක් ගතවන බව, අපි අති මිහිරි අත්දැකීම්වලින් දනිමු. නමුත් අධිවේගේ කොට්ටාවේ සිට ගාල්ලට ගතවන්නේ පැයකටත් අඩු කාලයකි. එසේනම් කඩුවෙලට වඩා ගාල්ල කොළඹට ළංවී ඇතුවා නේදැයි කෙනෙකුට සිතීම වරදක්ද නොවේ.  


"මචං.... අපි ගාල්ලේ ආව.....දැන් උඹලැයි ගෙදර එනව......" යන වදන් පෙලට පිළිතුර මීට වසරකට කලින් නම් "අනේ පලයං බං යන්න......ආවනම් මෝඩ ඇළෙන් නාල වරෙන්..."යන්නය. දැන් පිළිතුර... "හා හා..වරෙන්.//" යන්න නොවේද?..... :D :D :D :D


ප.ලි. :- ෂික්!!! අපරාදෙ මට උනුත් එක්ක සෙට් වෙල ගාලු එන්න තිබ්බනෙ....ඉරාගෙන බස්වල කටු කන්නැතුව......... :( :( :( :(


ලපයා විසිනි.




Saturday, May 26, 2012

ඌ තාම Jokerනෙ බං......??

කාටත් ආයුබොවන්ඩ!!!! අදත් මේ ගෙදර ඉන්න කම්මැලිකමට ලියන්න ගත්තෙ. මේක මේ ලපයගෙ බෝඩිමේ වෙච්ච සිද්දියක්. ලපයගෙ බොඩිම නම් තියෙන්නෙ මාලඹේ ගැමුණුපුර ප්‍රෙස්ටීජ් සිටි එකෙ. මේ බෝඩිම කවුරුත් දන්නෙ double E බෝඩිම කියල. ඔක්කොම 11ක් ඉන්නව. ගිය අවුරුද්දෙ නම් මේකෙ හිටිය ඔක්කොම SLIITඑකේ EE කලේ. දැන්නම් CSN කරන 3දෙනෙකුත් ඉන්නව. ඒත් ඉතින් double E බෝඩිම කියල තමා, තාම කියන්නෙ. මොකෝ බහුතරය ඉතින් EE නෙ.... ;) ;) ;)


මේ සිද්දිය වුණේ මීට මාසෙකට විතර කලින්. ඒ කියන්නෙ කොල්ලො ටික examsවලට පාඩම් කරන දවසක. අපේ බෝඩිමේ ඉන්නව පට්ට dial එකක්. මෑන්ස්ගේ cardඑකනම් පට්ට එකක්...ඒත් අපි මෑන්ස්ට X කියල  කියමුකො. (card එක කීමෙන් ලපයාට මරණ තර්ජන පවා එල්ල වි‍ය හැක. කාටවත් මඩ ගැහීම ලපයගේ අරමුණක් නොවන බව සිහි තබා ගන්නවානම් හොඳය. දන්න  කස්ටිය හිතාගන්නකො. කාටවත් කියන්න ඕන නෑ. card එකෙ නෙමේ.. කතාවෙනෙ අතල් එක තියෙන්නෙ. OKKKK.) මෑන්ස් හැමදාම බෝඩිමේ නෑ. හැබැයි ඉන්න දවසටනම් බෝඩිමේ ආතල් කෝටියයි. ඉතින් ඔය සිද්දිය වෙච්චි දවසෙ කස්ටිය (රවී, ඕෂධ, ලකා, රොෂාන්, ලහිරු, තාරක, ලපයා,.......) තම තමන්ගෙ laptop computers දිග ඇරගෙන වැඩ. ඔය වැඩ කරන අතරෙ කස්ටිය FB, Google, Youtube අමතක කරන්නෙත් නෑනෙ. එක පාරටම ලපයගෙ එහාපැත්තෙ හිටපු Xගෙන් ලපයට ප්‍රශ්නයක්......  
සුප්‍රකට විකට නළු ජොනී ලිවර්


X :- මචං, උඹ ජොනී ලිවර්ව දන්නවද?


ලපයා :- ඔව් බං, අර tamil නළුවනෙ??


X :- නෑ... බං ඌ හින්දි එකෙක්......


ලපයා :- ආ....ඔව් ඔව් දන්නව// පොඩ්ඩක් මිටි dial එකනෙ..??


X :- ඔව් ඔව් මේ ඉන්නෙ....
(X, ජොනී ලිවර්ගේ Wikipedia පිටුව පෙන්වයි. අනෙක් එවුන්ද මෙවෙලේ එදෙස බලති.)


X :- ඒ.... බං ඌ 1950නෙ....


ඕෂධ :- ඉතින්......... ඔව්..දැන් ඉතින් අවුරුදු 60 ගාණක්නෙ....


X :- ඉතින් බං ........... ඌ තාම jokerනෙ......
(කස්ටි‍යට දැන් පට්ට ආතල්ය. බෝඩිමම හිනා සාගරයකි. LOL)


රවී :- ඇයි බං අවුරුදු 60 එවුන්ට joke කරන්න බැරිද..?? 
(කස්ටියට තවමත් හිනාය.)


X :- ඉතින් ..බං... 
(මෑන්ස්ට දැන් රතු කට්ට පැනලාය.)


ලපයා :- ඉතින් බං කියන්නෙ....?? 60 පැන්නාම.. joke කරන්න බැරි ලෙඩක් හැදෙනවද? මෙහෙත් ඔය වයසට ගියත් හොඳට joke කරන එවුන්....


X :- අනේ බං හු__ මෙහෙ ඉන්නෙ ගොන් joke දාන එවුන්නෙ....
(කස්ටිය තාමත් කොචොක් එකට මෙන් හිනාවය.) 


X :- උඹලට ඉතින් එව්වත් ආතල්.....උඹලයි තියෙන්නෙ ඉතින් හරක් ආතල්නෙ.....කැ_ හු___ £$%^&..........


කොහොම හරි එදා නිදා ගන්නකම්ම X බයිට්. පහුවෙනිදා උදේත්.........කස්ටිය dial එකෙන් "මචං..ඌ තාම jokerනෙ?" කිව්වහම....... X කස්ටියගේ හත්මුතු පරම්පරාවම සිහි කරානෙ..... :D :D :D




කතාව ආතල් මදිද මන්ද............. වෙලාවෙ හැටියට..... අමාරුවෙන් හරි ලේ පිරිසිදු කරගන්න....හොඳේ.... :D :D :D :D


පිංතූර ගත්තෙ :- http://www.fanoos.com/bollywood/johnny_lever.html




  

Saturday, May 19, 2012

යුධ ජයග්‍රහණයෙන් වසර 3ක් ගතවන තැන ලියමි...



ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අපගේ මව්බිම වසර 2000කට අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන රටකි. විජයාගමනයෙන් ජනාවාස වූ බවට ලිඛිත සාක්ෂි හමුවී ඇතත් ඉන් පෙරද සශ්‍රීක වූ දිවයිනක් ලෙසට පැවති බවට ප්‍රාග් ඓතිහාසික සාක්ෂිද අප සතුව ඇත. ආර්යයන් ප්‍රමුඛ ස්වදේශික යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන්ගෙන් ඇරඹි සිංහල ජාතියත්, ආක්‍රමණ හා පාලකයන්ගේ අවාහ-විවාහ සම්බන්ධතා මගින් සංක්‍රමණය වූ දෙමළ ජාතියත්, වෙළඳ කටයුතු සඳහා සංක්‍රමණය වූ මුස්ලිම් ජාතියත් අද වන විට ශ්‍රී ලංකා තලයේ ප්‍රධාන වශයෙන් ජීවත් වෙති. ස්වභාවික සම්පත් අතින් ඉතා පොහොසත් වූ අප රට ස්වභාවික ව්‍යසනයන්ගෙන් අවම වීම වාසනාවට කරුණකි.


ඈත අතීතයේ සිටම ලෝකයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පැවති බවට සාධක බොහෝ පවතී. එහි උච්චතම සාධකය වනුයේ අප රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ට යටත්ව පැවතීමට වීමයි. මෙසේ යටත් විජිතකරණයට ලක් වූ ලංකාව ඉතා සීග්‍ර වෙනසකට බඳුන් වූ බව අප සැම දන්නා කරුණකි. මෙම වෙනස අප රටට යම් සාර්ථකත්වයක් මෙන්ම අති විශාල අසාර්ථකත්වයක් ද අත්කරදීමට තරම් ප්‍රබල වී ඇත. ආර්ථික හා ප්‍රවාහන යන ක්ෂේත්‍ර වලින් ලද සාර්ථකත්වය අභිබවා යමින් සමාජීය හා දේශපාලන ක්ෂේත්‍ර අසාර්ථකත්ව‍යට ඇද වැටීම උක්ත කරුණ තෘප්ත කරන කාරණයයි.


සාමය සහජීවනය උපරිමයෙන් පවත්වා ගනිමින් ජීවත් වූ අප ජාති, කුල භේද ඇති කර ගනිමින් රට දෙකඩ කරගැනීමට පවා ගැටුම් ඇතිකරගත්තේ ඉහත කී අසාර්ථකත්වය නිසාය. මා දකින ආකාරයට ජාතීන් අතර භේදය ඇරඹෙන්නේ ඉංග්‍රීසි පාලන සමයේය. එකම ජාතියක් ලෙස පැවති රට තුළ දෙමළ, උඩරට සිංහල, පහතරට සිංහල අදී ලෙස නියෝජිතයින් පත් කිරීම අප රටේ දේශපාලන අසාර්ථකත්වයේ මූලයයි. (මෙලෙස නියෝජිතයින් වෙන වෙනම පත්කළ ආණඩු ක්‍රම  ප්‍රතිසංස්කරණය මා හට නිශ්චිතව මතක නැත. මෙම ප්‍රතිසංස්කරණයට පෙර සීමිත ඡන්දයෙන් පත් වූ නියෝජිතයා වූයේ ද්‍රවිඩ ජාතික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාය. මෙය, මීට පෙර රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබී නොමැති බවට සාක්ෂියකි.)


ඉහත ආකාරයෙන් දිග හැරුණු ජාතිවාදී ප්‍රශ්නය උග්‍ර අතට පත්වනුයේ අප රටට 1948 දී ලැබුණු ඩොමීනියන් නිදහසින් පසුව‍ය. ඒ, පටු දේශපාලන වාසි අත්කරගනුවස් 1958 දී රටේ පාලකයින් ගෙන ආ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ තීරණයයි. ඉන්පසු 1983 දී ඇතිවූ වෙනම රාජ්‍යයක් සඳහා වූ ත්‍රස්ථවාදී යුද්ධය අප රට වසර ගණනකින් ආපස්සට ඇදගෙන යාමට තරම් ප්‍රබල විය. අද වනවිට අප ගෙවා දමනුයේ එම යුද්ධය අවසන් කළ යුගයයි. (මේ සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපගේ යුධ, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක රණවිරුවන් හට ප්‍රණාමය නිතැතින්ම හිමි වේ.) 





දැන් අප කළ යුත්තේ ඉහත කී දේශපාලන හා සමාජීය අසාර්ථකත්වයන්, සාර්ථකත්වයන් කරා මෙහෙයවීමය. පාලකයන්ගේ අදූරදර්ශී තීරණයන් හා දශක 3ක යුද්ධය නිසා සංවර්ධනය කරා යාම වෙනුවට එකතැන පල්වූ රට නියම මාවතකට යොමු කරවා ගැනීමයි. මා දකින ආකරයට යුද්ධය නිමවී 3 වසරක් ගෙවුණද තවමත් නිශ්චිත දේශපාලන සැලැසමක් ඒ සඳහා පාලකයන් අත නොමැත. ඒ වෙනුවට තවමත් පාලකයන් තුළ අත්තේ ජනප්‍රියත්වය පදනම් කරගත් එදා වේල පිරිමහන ක්‍රමයේ වැඩය. ඒ සඳහා මහාමාර්ග, වාරයවල් අනවශ්‍යය යැයි නොකියමි. යුද්ධය තිබූ ප්‍රදේශවල සංගීත සංදර්ශන, සැණකෙලි අනවශ්‍යය යැයි නොකියමි. නමුත් ඒවා තාවකාලික විසඳුම් වනවා නිසැකය. කළයුත්තේ සෑම ජාතියක් අතරම සාමය සංහිඳියාව ඇතිවන ලෙස වැඩපිළිවෙලක් දියත් කිරීම බව මාගේ හැඟීමයි. එම වැඩපිළිවෙල සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සැලසුම් වීම උචිතය. එම වැඩපිළිවෙල කෙසේ වියයුතුද යන්න පිළිබඳ අදහසක් දීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොව් යැයි සිතමි. නමුත් ඊට ගැලපෙන මාගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කරමි. එය මෙසේය.


මාගේ බෝඩිමේ මා සමඟ ද්‍රවිඩ ජාතික මිතුරෝ කිහිපදෙනෙකුම සිටියහ. ඔවුන් මඩකලපුවේය. එක් නිවාඩුවක මා මඩකලපුවේ සංචාරය කළේ (2010 වසරේ දී) ඔවුන්ගේ ආරාධනයෙනි. එම අවස්ථාවේ මාගේ දර්සන් නැමති මිතුරාගේ පියා සමඟ කතාබස් කිරීමට අවස්ථාව මට උදාවිණි. ඔහු වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. මනා ලෙස සිංහල කතාකිරීමටද හැකියාව ඇත්තෙකි. ඔහු කීවේ මා උක්ත යෝජනා කළ වැඩපිළිවෙලට පදනමක් යයි මට සිතේ. එනම්,
"තම්බි..... මේ ප්‍රශ්නෙට පොලිස්, ඉඩම බලතල දීල වෙඩක් නෑ. කරන්න තියෙන්නේ... මේ පැත්තේ සිංහල මිනිස්සු පදිංචි කරන එකයි. දකුණෙ.. දෙමළ මිනිස්සු පදිංචි කරන එකයි. තම්බි... අපි හරි කෙමති සිංහල මිනිස්සුත් එක්ක එක ගමේ ඉන්න. අපි හැට, හැත්ත ගණන්වල එහෙම තමා හිටියෙ. දැන් බලාන්න වෙල්ලවත්තෙ පෙත්තෙ දෙමළ මිනිස්සු ප්‍රශ්නයක් නැතුව ඉන්නවනෙ. ප්‍රශ්නයක් උනත් ඒ අපේ එවුන්ම හදාගන්න ප්‍රශ්නනෙ. දැන් මේ අපෙ ළමයි කොලම්බු ඉඳන් ඉගනගන්නව. එහෙම ප්‍රශ්නයක් නෑනෙ." කියලාය. 
සැබැවින්ම ඔවුන් එදවස යුද්ධයෙන් විශාල ලෙස බැට කෑ උදවියයි. නමුත් ඔවුන්ගේ සිත්වල මේ ප්‍රශ්නය සම්බන්ධව පැහැදිලි අදහසක් හා ඊට විසඳුම් ඇති බව මට හැඟුණි.


එසේ නම් ප්‍රථමයෙන්ම දේශපාලකයින්ගේ පටු අදහස් දුරලා වඩා සාධාරණ වැඩපිළිවෙලක් ඉක්මණින්ම අවැසිය. එම වැඩපිළිවෙල දේශපාලන විසඳුමක් ද? නැතිද? යන වග සාධාරණත්ව‍ය මත පදනම් වේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන දින අප මව්බිමේ සාර්ථකත්වය ඇරඹෙන දිනය වනු නිසැකය. ජනතාව සහජීවනයේ දෑත එකිනෙකා වෙත දිගුකළ යුතුය. අවිය දෑතින් අත්හළ යුතුය. එසේ නොවුණහොත් යුධ ජයග්‍රහණයෙන් කී වෙනි වසර ගතවන තැන ලියුවද.... ලිවීමට ඉතිරි වනුයේ මේ ලිපියමය...



  • මෙම ලිපිය මාගේ (ලපයාගේ) අදහස් යොදා ලියූවක් වන අතර මා ඉදිරිපත් කර ඇති ඓතිහාසික කරුණුවල නිර්වද්‍යභාවය හා අදහස් පිළිබඳ ගැටළු පවතීනම් ඒවා විචාර (comments) මගින් නිවැරදි කරන මෙන් ඉල්ලමි. 


පින්තූර ගත්තෙ: -
http://upload.wikimedia.org/wikipedia/commons/7/7d/Flag-map-of-sri-lanka.png
http://federalidea.com/fi/2008/12/post_51.html




 




Tuesday, May 15, 2012

බල්ලගෙ පිටින් දාල බේරුණ බූරුවො ටික...

ඉතිං..දීර්ඝායුෂම ලැබේවා!!! කියලම පටන් ගන්නම්කො. අදත් ඉතින් මම මේ හදිස්සියෙම මීටරේට වැටිච්ච සිද්දියක් තමා දාන්න කියල බැලුවෙ. මේක ඉතින් සොඳුරු පාසල් සමයේ රස කතා ගණයට තම වැටෙන්නෙ...  මේක සිද්ද වුණේ 2005. ඒ කියන්නෙ සුනාමියෙන් පස්සෙ රට ගොඩ එමින් තිබූ යුග‍ය. ඒ විතරක්ද ලපය, අ.පො.ස. සා/පෙ කරෙත් ඔය අවුරුද්දෙමනෙ.

මේක වුණේ අපෙ ඉස්කෝලෙ..(ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ ). ලපය හිටියෙ E.R.ද සිල්වා ගොඩනැගිල්ලෙ තිබ්බ 11-D පංතියෙ. උදාරංග, මාතු (ආසිරි ), අරවින්ද, ලක්ෂිත (ප්‍රෙඩේටර්), නිත්‍ය, පෙතියා (පෙතියාගොඩ ), මදූෂ, රසික, සමත්, පාරමී..........11-D එකේ හිටිය ටික දෙනෙක් තමා ඔය. පන්තිය භාරව හිටියෙ ලංකා මිස්. මිස් අපේ 10, 11 අවුරුදු 2කේම පංති භාර මිස් වගේම, අපිට ඉංග්‍රීසි විෂයත් ඉගැන්නුව.


ඒ දවස්වල ඉතින් ඉස්කෝලෙ ඇරුණම පංතියෙන් අන්තිමට පිටවෙන ළමය තමයි පංතිය lock කරල යන්න ඕන. ඉතින් පංතිය lock කරන පුද්ගලය දවසින් දවස වෙනස් වෙනව. එක සිකුරාද දවසක ඔහොම පංතිය lock කරල කොල්ලො ටික ගෙවල්වල ගිහින් තිබ්බ. සෙනසුරාදා, ඉරිදා කස්ටියම ආතල් එකේ ඉඳල සඳුදා ආව කියමුකො අයෙත් ඉස්කොලෙට. එහෙම ඇවිල්ල පංතිය ඇරියම තමයි......ආතල් එක ආතල්  කෝටියක් උනෙ. :D :D :D .... සිකුරාද පංතිය වහල තියෙන්නෙ වල් බල්ලෙක් පංතිය ඇතුළට දාල. ඇතුළට දාලමත් නෙවේ... ඌ රිංගල. (පුරුද්දටද කියල කව්ද දන්නෙ...:D) බල්ල දවස් 2ක් ඇතුලෙ හිර වෙලානෙ හිටියෙ.. ඌට කන්නත් නෑ, බොන්නත් නෑ. හැබැයි පංතිය පුරාම ජරා කරල. (රීලා කිව්වම කස්ටියට තේරෙයි නෙ. :P) බල්ල මුළු පංතිය පුරාම රෙන වැඩේ යහමින්ම කරල. මුළු පංතියම ගඳගහනව ලොවෙත් නැති වෙන්නම. කොල්ලො ටිකත් ඊය// ගානව මුකුත් කරන්නෙත් නෑ. අනිත් පංතිවල උන් එනව තොරණ් බලන්න එනව වගෙ පෝලිමට.. මේ බල්ල රීපු එක බලන්න. :) :) :).. දැන් කස්ටියට ප්‍රශ්නෙ කව්ද සිකුරාදා පංතිය වැහුවෙ? කියල. දැන් බලනකොට කවුරුවත් සිකුරාදා පංතිය වහල නෑ. එක එකා එක එක දවස්වල පංතිය වහන නිසා කවුරු වැහුවද කියල හිතා ගන්න බෑ. වහපු එකත් සද්ද නෑ. එදා එහෙම පංති‍ය වහපු  එකා අහු උනානම් ඌට පට්ට බයිටක් දෙන්න තමා හිටියෙ.


ඔන්න ටික වෙලාවකට පස්සෙ පංති භාර ලංකා මිසුත් ආව. මිස්ට වැඩේට හොඳටම තද වුණා. "පංතිය හෝදල දානව. Detol දාල. මට බෑ මෙහෙම පංතියෙ ඉන්න." කියල මිස් හොඳටම කොල්ලො ටිකට බැන්න. හැබයි ඒ වචන ටිකෙන් පස්සෙ කොල්ලොන්ට full fun. මොකද දැන් English periodඑක cut. (හැමදාම අපෙ 1st period එකේ තිබ්බෙ කඩ්ඩ. හිතාගන්න පුළුවන්න්නෙ කොල්ලොන්ගෙ කඩ්ඩ කොච්චරද කියල.)


මුළු periodඑකම අරගෙන කොල්ලො ටික පංතිය හේදුව ඩෙස්-පුටු ඔක්කොම එළියට දාල. ඊළඟට තිබ්බ period එකේ අදාල ගුරුවරය පංති‍යට එනකොට පංතියෙ ඩෙස්-පුටු ඔක්කොම එළියෙ. කොල්ලොත් කිව්ව  පංතිය හෝදල, පංතියෙ තාම වතුර කියල. ඔය වගෙ 2nd period එකත් cut. කොල්ලො දැන් පංතියෙන් එළියෙ fun ගන්නව. අනිත් පංතිවල කොල්ලො හූල්ල හූල්ල වැඩ. පංතියෙ වතුර වේලෙන කොට ආයෙත් වතුර දානව. ආයෙ වේලෙන කොට ආයෙත් වතුර දානව. කොහොම හරි එදා වැඩ කලේ සිංහලයි, විද්‍යාවයි විතරයි. සිංහල කරපු නාගවත්ත සර් ඇවිත් "අද පාඩමක් කරන්න බෑනෙ. කටපාඩම් කරන්න දීපු කවි ටික කටපාඩම් දීපියව්" කියල එළියෙ ඉඳන්ම කවි කටපාඩමින් ගත්ත. විද්‍යාව නම් ඉතින් කොහොමත් lab එකට ගිහින් කරන නිසා විද්‍යාව එදා කළා. විද්‍යාව කරපු රංජිත් සර් කිව්වෙ "තමුසෙලට ඕනකමක් තිබ්බනම් මේ lab එක අරගෙන periodවල වැඩ කරන්න තිබ්බනෙ" කියල... :D :D :D. ෂික්.. අපිට ඉතින් ඕනකමක් තිබ්බෙ නෑනෙ..කියල අපි ඉතින් හිත හදාගත්ත.. :P :P


ඉස්කෝලෙ අරින්න ටිකකට කලින් අපි පංතිය අයෙත් පිළිවෙලට ඩෙස්-පුටු තියල හැදුව.


ඒ වෙලාවෙ අංශ ප්‍රධාන සර් ඇවිත් "තමුසෙල අද කිසි වැඩක් කලෙ නෑනෙ. හොඳයි// බල්ලගෙ පිටින් දාල බූරුවො ටික බේරුණ.. එහෙනම්" කියල හිනාවෙල ගියා. :D :D :D











Friday, May 11, 2012

බයිලාවලට යටවුණු අපේ ඉතිහාසය........


ආයුෂ බොහෝ වේවා!!!!!! කියල ප්‍රාර්ථනා කරන ගමන්ම මේ හදන්නෙ...අලුත් පෝස්ටුවක් දාන්න. මේක මම මේ කොළඹ සිට ගාල්ල බලා එන අතරෙ බස් එකේ වෙච්චි දෙයක්. 


මම එදා අවේ මාතර-කොළඹ බස් රථයක (සාමාන්‍ය ගාස්තු ). බස් එක ප්‍රයිවට් බස් එකක්. කවුරුත් දන්නවනෙ ප්‍රයිවට් බස් වල ඉතින් බයිල, සජීවී ප්‍රසංග එහෙම වරදින්නෙ නෑ කියල. දැන් ඉතින් බස්වල TVත් set කරලනෙ තියෙන්නෙ. ඉතින් මම අපු බස් එකෙත් ඔය වගේ සද්දෙට සිංදු දාල තිබ්බෙ. ඔහොම එනකොට හික්කඩුව හරියෙදි  බස් එකට නැග්ග පොත් විකුණන මනුස්සයෙක්. කවුරුත් දන්නවනෙ..ඉතින් හොඳට තෙල ගහල බස් වල පොත්, සෙල්ලම් බඩු, දත් බෙහෙත්  විකුණන හැටි. ඉතින් අර මනුස්සය විකුණන්න ගෙනාවෙ ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන්ගෙ වැදගත් තොරතුරු ඇතුළත් පොතක්. ඒ කියන්නෙ රටේ ඉතිහාසය පිළිබඳ පොතක්. පොත් සාප්පුවලින් ගන්න ගියොත් බර ගාණක් වෙන්න පුලුවන් පොතක්.


අර මනුස්ස‍ය දැන් පොත ගැන විස්තර කරනව. ඒ විස්තර මොනවත් බස් එකේ කාටවත් අහෙන්නෙ නම් නෑ. ඇයි බස් එකේ රේඩියෝ එකේ බයිලයක් යනව කණ පැලෙන ගානට. ඒ මනුස්සය පොත පෙරල පෙරල විස්තර කරපු හැටියට නම් ඒක පාසල් යන නොයන කාටත් වැදගත් පොතක් කියලයි මට හිතුනෙ. කොහොමහරි ඉස්සරහම හිටිය දෙතුන් දෙනෙක් එකේ වැදගත්කම ඇහුණ නිසාද කොහේද පොත සල්ලිවලට ගත්ත. පොත් විකුණනපු මනුස්සය බස් එක මැද්දෙන් තෙරපි තෙරපි පිටිපස්සට ඇවිල්ලා පස්සෙ දොරෙන් බැහැල ගියා. 


මේ සිද්දියෙන් පස්සෙ මගේ අසුනෙ හිටපු uncle මගේ පැත්තට හැරිල කිව්වේ.... "දැක්කනෙ පුතා..ඉතිහාසෙ, බයිල වලින් බාල්දු වෙච්ච හැටි. ඉතින් කොහොමද රට හැදෙන්නෙ..." කියල.  සිද්දිය එතනින් ඉවරයි. 



පසු සටහන :- 
මට ඒ uncleගෙ කතාව ටියුබ් ලයිට් වගේ ටිකක් වෙලා ගිහින් තමා මීටර් වුණෙ. අද රටේ පාලකයොත් ජනතාවට කණ පැලෙන්නෙ බයිලනෙ කියන්නෙ. ඉතින් ජනතාවට ඉතිහාසය, සාහිත්‍යය, රටේ අනන්‍යතාවය ගැන මේ ලෝකෙ හැඟීමක් නෑ. මෙන්න මේක තමා රට එක තියෙන්න හේතුව කියල ලප‍යට හිතුණෙ.


"සාහිත්‍යය කන්නද?" කියල කව්ද ඇහුවලුනෙ ඒ දවස්වල. 


හැබැයි ඉතිහාසය, සාහිත්‍යය, රටේ අනන්‍යතාවය පිළිබඳ අවබෝධය ලබාගෙන ඒවයින් ගන්න පුළුවන් දේවල් අරගෙන ඉස්සරහට යනව මිසක් එව්ව ඔලුව උඩ තියාගෙන ගිහින් හරියන්නෙත් නෑ...... කියල තේරුම් ගන්න වෙනව කියලත් ලප‍යට තේරුණ.......


පින්තූරය ගත්තෙ :- http://sundaytimes.lk/071111/FunDay/mahawamsa.html