Saturday, May 19, 2012

යුධ ජයග්‍රහණයෙන් වසර 3ක් ගතවන තැන ලියමි...



ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අපගේ මව්බිම වසර 2000කට අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන රටකි. විජයාගමනයෙන් ජනාවාස වූ බවට ලිඛිත සාක්ෂි හමුවී ඇතත් ඉන් පෙරද සශ්‍රීක වූ දිවයිනක් ලෙසට පැවති බවට ප්‍රාග් ඓතිහාසික සාක්ෂිද අප සතුව ඇත. ආර්යයන් ප්‍රමුඛ ස්වදේශික යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන්ගෙන් ඇරඹි සිංහල ජාතියත්, ආක්‍රමණ හා පාලකයන්ගේ අවාහ-විවාහ සම්බන්ධතා මගින් සංක්‍රමණය වූ දෙමළ ජාතියත්, වෙළඳ කටයුතු සඳහා සංක්‍රමණය වූ මුස්ලිම් ජාතියත් අද වන විට ශ්‍රී ලංකා තලයේ ප්‍රධාන වශයෙන් ජීවත් වෙති. ස්වභාවික සම්පත් අතින් ඉතා පොහොසත් වූ අප රට ස්වභාවික ව්‍යසනයන්ගෙන් අවම වීම වාසනාවට කරුණකි.


ඈත අතීතයේ සිටම ලෝකයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පැවති බවට සාධක බොහෝ පවතී. එහි උච්චතම සාධකය වනුයේ අප රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ට යටත්ව පැවතීමට වීමයි. මෙසේ යටත් විජිතකරණයට ලක් වූ ලංකාව ඉතා සීග්‍ර වෙනසකට බඳුන් වූ බව අප සැම දන්නා කරුණකි. මෙම වෙනස අප රටට යම් සාර්ථකත්වයක් මෙන්ම අති විශාල අසාර්ථකත්වයක් ද අත්කරදීමට තරම් ප්‍රබල වී ඇත. ආර්ථික හා ප්‍රවාහන යන ක්ෂේත්‍ර වලින් ලද සාර්ථකත්වය අභිබවා යමින් සමාජීය හා දේශපාලන ක්ෂේත්‍ර අසාර්ථකත්ව‍යට ඇද වැටීම උක්ත කරුණ තෘප්ත කරන කාරණයයි.


සාමය සහජීවනය උපරිමයෙන් පවත්වා ගනිමින් ජීවත් වූ අප ජාති, කුල භේද ඇති කර ගනිමින් රට දෙකඩ කරගැනීමට පවා ගැටුම් ඇතිකරගත්තේ ඉහත කී අසාර්ථකත්වය නිසාය. මා දකින ආකාරයට ජාතීන් අතර භේදය ඇරඹෙන්නේ ඉංග්‍රීසි පාලන සමයේය. එකම ජාතියක් ලෙස පැවති රට තුළ දෙමළ, උඩරට සිංහල, පහතරට සිංහල අදී ලෙස නියෝජිතයින් පත් කිරීම අප රටේ දේශපාලන අසාර්ථකත්වයේ මූලයයි. (මෙලෙස නියෝජිතයින් වෙන වෙනම පත්කළ ආණඩු ක්‍රම  ප්‍රතිසංස්කරණය මා හට නිශ්චිතව මතක නැත. මෙම ප්‍රතිසංස්කරණයට පෙර සීමිත ඡන්දයෙන් පත් වූ නියෝජිතයා වූයේ ද්‍රවිඩ ජාතික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාය. මෙය, මීට පෙර රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබී නොමැති බවට සාක්ෂියකි.)


ඉහත ආකාරයෙන් දිග හැරුණු ජාතිවාදී ප්‍රශ්නය උග්‍ර අතට පත්වනුයේ අප රටට 1948 දී ලැබුණු ඩොමීනියන් නිදහසින් පසුව‍ය. ඒ, පටු දේශපාලන වාසි අත්කරගනුවස් 1958 දී රටේ පාලකයින් ගෙන ආ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ තීරණයයි. ඉන්පසු 1983 දී ඇතිවූ වෙනම රාජ්‍යයක් සඳහා වූ ත්‍රස්ථවාදී යුද්ධය අප රට වසර ගණනකින් ආපස්සට ඇදගෙන යාමට තරම් ප්‍රබල විය. අද වනවිට අප ගෙවා දමනුයේ එම යුද්ධය අවසන් කළ යුගයයි. (මේ සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපගේ යුධ, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක රණවිරුවන් හට ප්‍රණාමය නිතැතින්ම හිමි වේ.) 





දැන් අප කළ යුත්තේ ඉහත කී දේශපාලන හා සමාජීය අසාර්ථකත්වයන්, සාර්ථකත්වයන් කරා මෙහෙයවීමය. පාලකයන්ගේ අදූරදර්ශී තීරණයන් හා දශක 3ක යුද්ධය නිසා සංවර්ධනය කරා යාම වෙනුවට එකතැන පල්වූ රට නියම මාවතකට යොමු කරවා ගැනීමයි. මා දකින ආකරයට යුද්ධය නිමවී 3 වසරක් ගෙවුණද තවමත් නිශ්චිත දේශපාලන සැලැසමක් ඒ සඳහා පාලකයන් අත නොමැත. ඒ වෙනුවට තවමත් පාලකයන් තුළ අත්තේ ජනප්‍රියත්වය පදනම් කරගත් එදා වේල පිරිමහන ක්‍රමයේ වැඩය. ඒ සඳහා මහාමාර්ග, වාරයවල් අනවශ්‍යය යැයි නොකියමි. යුද්ධය තිබූ ප්‍රදේශවල සංගීත සංදර්ශන, සැණකෙලි අනවශ්‍යය යැයි නොකියමි. නමුත් ඒවා තාවකාලික විසඳුම් වනවා නිසැකය. කළයුත්තේ සෑම ජාතියක් අතරම සාමය සංහිඳියාව ඇතිවන ලෙස වැඩපිළිවෙලක් දියත් කිරීම බව මාගේ හැඟීමයි. එම වැඩපිළිවෙල සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සැලසුම් වීම උචිතය. එම වැඩපිළිවෙල කෙසේ වියයුතුද යන්න පිළිබඳ අදහසක් දීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොව් යැයි සිතමි. නමුත් ඊට ගැලපෙන මාගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කරමි. එය මෙසේය.


මාගේ බෝඩිමේ මා සමඟ ද්‍රවිඩ ජාතික මිතුරෝ කිහිපදෙනෙකුම සිටියහ. ඔවුන් මඩකලපුවේය. එක් නිවාඩුවක මා මඩකලපුවේ සංචාරය කළේ (2010 වසරේ දී) ඔවුන්ගේ ආරාධනයෙනි. එම අවස්ථාවේ මාගේ දර්සන් නැමති මිතුරාගේ පියා සමඟ කතාබස් කිරීමට අවස්ථාව මට උදාවිණි. ඔහු වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. මනා ලෙස සිංහල කතාකිරීමටද හැකියාව ඇත්තෙකි. ඔහු කීවේ මා උක්ත යෝජනා කළ වැඩපිළිවෙලට පදනමක් යයි මට සිතේ. එනම්,
"තම්බි..... මේ ප්‍රශ්නෙට පොලිස්, ඉඩම බලතල දීල වෙඩක් නෑ. කරන්න තියෙන්නේ... මේ පැත්තේ සිංහල මිනිස්සු පදිංචි කරන එකයි. දකුණෙ.. දෙමළ මිනිස්සු පදිංචි කරන එකයි. තම්බි... අපි හරි කෙමති සිංහල මිනිස්සුත් එක්ක එක ගමේ ඉන්න. අපි හැට, හැත්ත ගණන්වල එහෙම තමා හිටියෙ. දැන් බලාන්න වෙල්ලවත්තෙ පෙත්තෙ දෙමළ මිනිස්සු ප්‍රශ්නයක් නැතුව ඉන්නවනෙ. ප්‍රශ්නයක් උනත් ඒ අපේ එවුන්ම හදාගන්න ප්‍රශ්නනෙ. දැන් මේ අපෙ ළමයි කොලම්බු ඉඳන් ඉගනගන්නව. එහෙම ප්‍රශ්නයක් නෑනෙ." කියලාය. 
සැබැවින්ම ඔවුන් එදවස යුද්ධයෙන් විශාල ලෙස බැට කෑ උදවියයි. නමුත් ඔවුන්ගේ සිත්වල මේ ප්‍රශ්නය සම්බන්ධව පැහැදිලි අදහසක් හා ඊට විසඳුම් ඇති බව මට හැඟුණි.


එසේ නම් ප්‍රථමයෙන්ම දේශපාලකයින්ගේ පටු අදහස් දුරලා වඩා සාධාරණ වැඩපිළිවෙලක් ඉක්මණින්ම අවැසිය. එම වැඩපිළිවෙල දේශපාලන විසඳුමක් ද? නැතිද? යන වග සාධාරණත්ව‍ය මත පදනම් වේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන දින අප මව්බිමේ සාර්ථකත්වය ඇරඹෙන දිනය වනු නිසැකය. ජනතාව සහජීවනයේ දෑත එකිනෙකා වෙත දිගුකළ යුතුය. අවිය දෑතින් අත්හළ යුතුය. එසේ නොවුණහොත් යුධ ජයග්‍රහණයෙන් කී වෙනි වසර ගතවන තැන ලියුවද.... ලිවීමට ඉතිරි වනුයේ මේ ලිපියමය...



  • මෙම ලිපිය මාගේ (ලපයාගේ) අදහස් යොදා ලියූවක් වන අතර මා ඉදිරිපත් කර ඇති ඓතිහාසික කරුණුවල නිර්වද්‍යභාවය හා අදහස් පිළිබඳ ගැටළු පවතීනම් ඒවා විචාර (comments) මගින් නිවැරදි කරන මෙන් ඉල්ලමි. 


පින්තූර ගත්තෙ: -
http://upload.wikimedia.org/wikipedia/commons/7/7d/Flag-map-of-sri-lanka.png
http://federalidea.com/fi/2008/12/post_51.html




 




6 comments:

  1. යුධ ජයග්‍රහණයේ නියම අර්ථය තවමත් රටට හිමි නොවීම..රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට කරන අගෞරවයක් ..........
    ඔබේ අදහස වැදගත්.... ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා!!!!!! සහෝ.........

      Delete
  2. හොඳ වැඩක් මල්ලි...
    ජය වේවා.......!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි....අයියෙ...ඔබේ ප්‍රතිචාරයට..... :)

      Delete